කොකේන් ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයා අත්අඩංගුවට


ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජී.කපිල  

                 
රුපියල්  කෝටියකට ආසන්න  වටිනාකමකින් යුත් කොකේන් මත් ගුලි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බ්‍රසීල ජාතිකයකු (25) කටුනායක  ජාත්‍යන්තර  ගුවන්තොටුපලේ දී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට  ගනු ලැබීය .

කටාර් ගුවන් සේවයට අයත්  කිව්. ආර්.  664  දරණ  ගුවන් යානයෙන්  කටුනායකට පැමිණ තිබු සැකකරු පිළිබඳව කල්තියා  ලද තොරතුරකට අනුව නියෝජ්‍ය රේගු අධිකාරින් වන නුවන් අබේනායක සහ ශ්‍රී ලාල් විජේවර්ධනව යන මහත්වරුන් විසින්  සිය බාරයට ගෙන  දිර්ඝ ලෙස  කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ  තමන් කොකේන්  මත් ගුලි ගිල දමා පැමිණි බව පිළිගෙන තිබේ.


මේ අනුව සැකකාර විදේශීකයා  මීගමුව  මූලික රෝහලට ඇතුළත් කර  කරන ලද වෛද්‍ය පරික්ෂණයෙන් පසුව  ග්‍රෑම් 8-10 අතර බරින් යුතු  විශේෂ පොලිතින් ආවරණ සහිත කොකේන්  මත් ගුලි 58 ක් අද (1)  උදෑසන වන විට  ලබා ගත් බව පොලීසිය කියයි.


මත් ද්‍රව්‍ය දිසාව  භාර  නියෝජ්‍ය පොලිස්පති  සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත  ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි  තිලක් ධනපාල , සහකාර පොලිස් අධිකාරි එරික් රංජිත්  යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් කටුනායක ගුවන්තොටුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ  නිළධාරින් මෙහෙයුමට  සහභාගී වූහ.