කොංග්‍රසය පරාජය පිළිගනී


ඉන්දියා මැතිවරණයේ පළමු වටයේ ප‍්‍රතිඵල වලින් භාරතීය ජනතා පක්ෂය අති බහුතරයකින් ජය ලබා ඇති බව පෙනී යෑමත් සමග තමන් පරාජය පිළිගන්නේයැයි බලයේ සිටි කොංග‍්‍රස් පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
‘‘මෝඩි ඉන්දියා ජනතාව වෙත හද හා තරු ගෙනත්දෙනවායැයි පොරොන්දු දුන්නා.ජනතාව එම සිහිනයට වහ වැටිලා කියලා පේනවා‘‘ යැයි කොංග‍්‍රස් පක්ෂ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙම සතිය මුල පටන්ම නිකුත්වුනු විවිධ සමිීක්ෂණ වාර්තා වලින් භාරතීය ජනතා පක්ෂය ජයගනු ඇති බව දැක්වුනි.නමුත් එය කුමන පරිමානයේ ජයග‍්‍රහණයක්දැයි අනාවරණය වූයේ 930000 ක් ඡුන්ද මධ්‍යස්ථාන වලින් ලබාගත් ලක්ෂ 15 කට අධික ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ උපකරණ වල සටහන්ව තිබූ ඡුන්ද ගණනය කිරීමෙනි.මෝඩි ගේ මැතිවරණ ව්‍යාපාරය කොංග‍්‍රස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සෝදා පාලූවට ලක්කර ඇති බවක් ඡුන්ද ගණනය කිරීමේදී පැහැදිලිවම පෙනී ගියේය.
පස්වරු එක වන විටදී ඉන්දියා මැතිවරණ කොමිසම නිකුත් කළ ඡුන්ද ප‍්‍රතිඵලයේ පාර්ලිමෙන්තුවේ ආසන 543 න් 312 ක් භාරතීය ජනතා පක්ෂය ලබාගෙන ඇති බවත් කොංග‍්‍රස් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 71 පමණක් බවත් දැක්වුනි.එය ඉන්දියා ඉතිහාසයේ එදා මෙදා තුර නොවූ පරිදි කොංග‍්‍රස් පක්ෂය දරුණු ලෙස තම ප‍්‍රතිවාදිියාට පරාජය වීමකි.
තවත් ප‍්‍රාන්ත කිහිපයක ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීමටද නියමිතව තිබේ.
දේශපාලනික විචාරකයින් පවසන්නේ කොංග‍්‍රස මුල සිටම තම මැතිවරණ ව්‍යාපාරය ‘‘ඇණ’’ ගැනීම මෙවන් පරිමානයේ පරාජයක් ඔවුනට අත්වීමට හේතුව බවයි.රාහුල් ගාන්ධි කොංග‍්‍රස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටියත් පක්ෂයම එය එසේ නොවනු ඇතැයි පවසා සිටීම ප‍්‍රධානතම හේතුව බව ඔවුහු කියති.
තවද කොංග‍්‍රස් පක්ෂය කි‍්‍රයාත්මක කළ ආර්ථික ප‍්‍රතිපත්තීන් හමුවේ පීඩාවට පත්ව සිටි ඉන්දියා ජනතාව මෝඩි ඉදිරිපත් කළ නව ආර්ථික ප‍්‍රතිපත්තීන් වැළදගෙන ඇති බවක් පෙනෙන්නට තිබේයැයි ඔවුහු පවසති.
1989 සිටම ඉන්දියාවේ තනි පක්ෂයක් බහුතර බලයක් හිමිකර ගැනීමට සමත්වී නොමැත.මෙනිසා මෙම ජයග‍්‍රහණය භාරතීය ජනතා පක්ෂයට ඉතා වැදගත් අවස්ථාවකි.තේ වෙළෙන්දෙකුගේ දරුවෙකු ලෙස ඉතා දිළිදු පවුලක උපත ලැබූ මෝඩි දැන් ඉන්දියාවේ අගමැති පුටුව හෙබවීමේ බලය ලැබ සිටී.දිනා ගෙන ඇති අති බහුතර බලය ඔහු ජනතාවට පොරොන්දුවූ නව ආර්ථික ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාත්වට නැංවීමට මහගු රුකුලක්ම වනු ඇත.
මෝඩි කි‍්‍රයාවට නැංවීමට යන ප‍්‍රතිපත්තීන් කවරේද?
ආර්ථික
මෝඩි තම මැතිවරණ ව්‍යාපාරය දියත් කළේ සංවර්ධනය මත පදනම් කරගෙනය.නව ආයෝජකයින්ට ඉන්දියාව විවෘත කරන බව පැවසූ හෙතෙම ආයෝජකයින්ට සීමා නොපමුනුවන බව පැවසීය.මෙය ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර තලයේද ප‍්‍රසාදයට ලක්වූ කරුණකි.
විදෙස් සෘජු ආයෝජන වලට අවස්ථාව ලබා දෙනු ඇති වුවද ඒ රැුකියා අවස්ථා උපදවන ඒවාට පමණක් බව ඔහු පැවසීය.විදෙස් රටවල පිහිටි සුපිරි වෙළද සංකීර්ණ ජාලයන් වැන්නන්ට ඉන්දියාවේ ඉඩක් නොමැති වන බව මින් පෙනෙනන්ට ගත්තද පසුව ඔහුම ප‍්‍රකාශ කළේ මෙහි යම් යම් වෙනස්කම් අනාගතයේදී සිදුකරන බවයි.
සංස්කෘතිකමය
දැඩි හින්දු භක්තිකයෙකු වන මෝඩි හින්දු ආගම වෙනුවෙන් වැඩිපුර කැපවීමේ ලකුණු පෙනෙන්නට ඇත.
රාම් නම් හින්දු දෙවියාට පුදකෙරෙන දෙවොලක් උත්තර ප‍්‍රදේ්ශ් හි ඉදිකිරීමට සැළසුම් කර තිබෙන අතර එම දෙවොල ඉදිකෙරෙන ප‍්‍රදේශයේ පෙර ඉදිකර තිබුණේ මුස්ලිම් පල්ලියකි.1992 වසරේ හින්දු හා මුස්ලිම් ආගමිකයින් අතර ගැටුම් උත්සන්න වීමේ ප‍්‍රතිඵලයක් ලෙස පල්ලිය විනාශ කෙරුණි.විවිධාකාරයේ ආගමික සමාජයන් පිළිපදින ඔවුන්ටම ආවේණික සාම්ප‍්‍රදායීක නීති පද්දතීන් බල රහිත කර පොදු නීති පද්දතියක් හදුන්වාදීමටත් භාරතීය ජනතා පක්ෂය ප‍්‍රති්ඥා දී තිබේ.කාෂ්මිීරයට විශේෂ තැනක් ලබාදෙන පරිදි ව්‍යවස්ථාවට අන්තර්ගත කර ඇති 370 වැනි වගන්තියද සංශෝධනය කිරීමට භාරතීය ජනතා පක්ෂය කටයුතු කරනු ඇත.
විදෙස් ප‍්‍රතිපත්තීන්
බොහෝ දෙනා විශ්වාස කරනුයේ මෝඩි බටහිරට වඩා පෙරදිග රටවල් වන ජපානය සිංගප්පූරුව ඉන්දුනීසියාව වැනි රටවල් ළගින් ඇසුරු කරනු ඇති බවයි.
2005 වසරේදී මෝඩිට ඇමරිකාවට ඇතුල්වීමට අවසර ලබා නොදීමට එරට බළධාරීන් කි‍්‍රයා කළේය.මෙනිසා දැන් මෝඩිගේ බලය ඇති අනාගත ඉන්දියාව ඇමරිකාව හා කෙසේ ගනුදෙනු කරනු ඇත්දැයි කිසිවෙකුත් නොදනී.
පකිස්තානය සමග සබදතා
1999 වසරේ භාරතීය ජනතා පක්ෂයේ නායක හා අගමැති අතල් බිහාර වජ්පායි කළාක් මෙන් මෝඩිද පකිස්තානය වෙත මිත‍්‍රත්වයේ දෑත් දිගුකරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.එවක පකිස්තාන අගමැතිව සිටි නවාස් ෂෙරීෆ්ම වත්මන් පකිස්තාන අගමැතිවරයා වීම මෙය වඩාත් පහසු කරවනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.
නමුත් මෝඩි හා ඔහුගේ උපදේශකයින් මැතිවරණයට පෙර සිටම පකිස්තානයට එරෙහිව දැඩි පියවර ගතයුතුව ඇතැයි ප‍්‍රකාශ කිරීමේ යෙදුණු බව අමතක කළ යුතු නැත.
බි‍්‍රතාන්‍යය හා ඉන්දියාව
ඇමරිකාව මෙන් බි‍්‍රතාන්‍යයද මෝඩි විරෝධි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළත් 2012 වසරේ මෝඩිගේ නැගිටීම දුටු ඔවුන් තම ප‍්‍රතිපත්තීන් වෙනස් කිරීමට කටයුතු කළේය.මෝඩිගේ නායකත්වය යටතේ වන ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට බි‍්‍රතාන්‍යයට මාවත පැදී තිබේ.
ජාතීන් අතර සබදතා
මුස්ලිම් ජාතිකයෝ බොහෝ දෙනා මෝඩි විශ්වාස නොකරති.2002 වසරේ ගුජරාට් ප‍්‍රාන්තයේ සිදුවූ මහා මිනිස් සංහාරයට ඔහු වගකිවයුතුයැයි ඔවුහු විශ්වාස කරති.
නමුත් මැතිවරණ වේදිකාවේදී මෝඩි නැවත නැවත ප‍්‍රකාශ කළේ ඉන්දියාවේ සංවර්ධන කටයුතු කි‍්‍රයාවට නැංවීම සදහා ජාතීන් අතර සහායෝගය ඉතා වැදගත් වන බවයි.මෙනිසා නැවත ජාතිවාදී හා ආගම්වාදී කෝළහාලයන් ඉන්දියාවේ ඇතිවීමට මෝඩි ඉඩනොතබනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසයෙන් සිටී.