කේරළ ගංජා විශාල ප්‍රමාණයක් ළඟ තබා ගත් බව කියන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ බලපෑම් හේතුවෙන් නිදහස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසියට ලද ඔත්තුවක් මත කරන ලද වැටළීමක දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ජාවාරම්කරුවන් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති මෙම ගංජා ‘කේරළ ගංජා’ බවත් එම ගංජාවලට උතුරේ පමණක් නොව දකුණේ ද වැඩි ඉල්ලුමක් ඇති බවත් පැවසෙයි.
ගංජා තිබූ ස්ථානයට පොලිසියේ විශේෂ ඒකකයක් ගොස් ඇති අතර මෙම විශාල ගංජා තොගය තිබී ඇත්තේ පලායි හි යැයි ද වාර්තා වේ.
මෙම වැටළීම කළ අවස්ථාවේ දී එහි ජාවාරම්කරුවන් හා පොලිසිය අතර එහිදී ගැටුමක් ඇති වී ඇතැයි ද පැවසේ. ගැටුම සිදු වූ විගස පොලිස් සැරයන්වරයා ඇතුළු එම විශේෂ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරියකු දැනුවත් කර ඇත. එම සැකකරුවන් පිරිස කිසිදු පොලිස් ස්ථානයකට බාර නොදී කිලිනොච්චියට රැගෙන එන්නැයි ඒ අවස්ථාවේ දී එම ඉහළ නිලධාරියා විශේෂ ඒකකයට නියෝග කර ඇත.
සැකකරුවන්ට එරෙහිව ගංජා විශාල ප්‍රමාණයක් ළඟ තබා ගැනීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම හා පහර දීම යන චෝදනා ගොනු කිරීමට එම අවස්ථාවේ දී පොලිසිය කටයුතු කර ඇත. ඒ අවස්ථාවේදීම අදාළ ඉහළ නිලධාරියාට දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබෙන අතර පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇති එම දේශපාලනඥයා සැකකරුවන් නිදහස් කරන්නැයි ද නියෝග කර තිබේ.
ගංජා ළඟ තබාගත් සහ පොලිසියට පහර දුන් එම සැකකරුවන් පිරිස ඒ අනුව නිදහස් කර ඇත. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයා “සුම්මා යන්න දුන්නා” යනුවෙන් එහි සිට උපහාසයට මෙන් පවසා ඇත. දෙමළ බසින් “සුම්මා” යන්නේ තේරුම නිදහස යන්න බව ද පැවසේ.
එක් සැකකරුවකු අදාළ දේශපාලනඥයාගේ රියදුරාගේ සහෝදරයකු යැයි ද වාර්තා විය. “ඔන්න ඔහොමයි ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කරන්නේ යනුවෙන් ඒ ප්‍රදේශය බාර පොලිස් නිලධාරියා ඒ අවස්ථාවේ දී උපහාසයට මෙන් පවසා ඇත.
අදාළ පොලිස් නිලධාරීන් මේ පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කර ඇත. පොලිස්පතිවරයා මෙම කරුණ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයට යොමු කිරීමට නියමිත යැයි ද වාර්තා විය. උතුරේ මත්ද්‍රව්‍ය පාලනය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන මොහොතේ ඊට වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ දේශපාලනඥයන්ගෙන් බව ද කියැවේ.
(සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)
055

