පුත්තලම - ජුඩ් සමන්ත.
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 220 ක් සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටින විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාව මෙම මස 10 වැනිදා තෙක් රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට හලාවත
අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා 06 වැනිදා සවස හලාවත පොලීසියට අවසර ලබා දුන්නේය.
මෙසේ රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබා දී ඇත්තේ යාපනය - නල්ලූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 29 වියේ පසුවූ දෙදෙනෙකුවය.
පසුගිය 05 වැනිදා සවස හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී හලාවත පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.
අත්අඩංගුවට ගෙන ඇති කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 ½ ක් පමණ වන බව වැටලීම කළ නිලධාරීන් කියයි.
සැකකටයුතු ලෙස ගමන් කර ඇති සුඛෝපභෝගී වෑන් රථයක් රථ වාහන අංශයේ නිලධාරීන් නවත්වා පරීක්ෂා කිරීමේදී ඒ තුළ සුක්ෂම ලෙම අසුරා තිබූ කේරල ගංජා තොගය සොයා ගැනීමට හැකිවී ඇත.මෙම වෑන් රථයට ඉදිරියෙන් ගමන් කර ඇති මෝටර් රථයක් ඒ සමගම පලා ගොස් ඇත.එම මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සදහා අවට පොලිස් ස්ථාන දැණුවත් කර සහාය ලබා ගෙන ඇති නමුත් ඔවුන් පලා ගොස් ඇත.
යාපනය ප්‍රදේශයේදී නාදුනන තිදෙනෙකු විසින් මෙම වෑන් රථය කොළඹට ගෙනවිත් දෙන ලෙස තමන්ට පැවසූ බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.නමුත් සැකකරුවන් දෙදෙනා මෙම ජාවාරමට සෘජුවම සම්බන්ධ බවට සැකකරන්නේ යැයි විමර්ශණ කටයුතු කරන නිලධාරීන් සදහන් කරයි.
සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කර වැඩි දුර තොරතුරු ලබා ගැනීම සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහාය ඉල්ලා ඇති බව හලාවත පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.මෙම ජාවාරම පිටුපස ව්‍යාපාරිකයෙකු හෝ පිරිසක් සිටින බවත්, ඔවුන් කොටු කර ගැනීම අරමුණ බවත් එම නිලධාරියා කියා සිටියේය.
හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරපේලි,සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.