කෙලවල්ලා පැටවුන් අැල්ලීම තහනම්


(හර්ෂණ තුෂාර සිල්වා)

කෙලවල්ලා මත්ස්‍ය පැටවුන් ඇල්ලීම තහනම් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දකුණු සහ නැගෙනහිර මුහුදු තීරයේ ඇතැම් ධීවර පිරිස් කෙලවල්ලා (ටූන්) මත්ස්‍ය පැටවුන් විශාල වශයෙන් ඇල්ලීම නිසා මෙරට මුහුදු තීරයෙන් මත්ස්‍ය ගහණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවට මත්ස්‍ය අපනයකරුවන් පිරිසක් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී තිබේ.

රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් ටූනා මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන අතර ශ්‍රී ලංකාවේ ටූනා මසුන් සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතියි. ශ්‍රී ලංකාවේ ටූනා මත්ස්‍යන් සඳහා වැඩි ඉල්ලුමක් තිබුණද ඉන් සැපයිය හැකිව තිබෙන්නේ සමස්ත ඉල්ලුමෙන් තුනෙන් එකක් පමණක් බවත් ඊට ප්‍රධාන හේතුව දිවයින අවට මුහුදු තීරයේ ටූනා මත්ස්‍ය ගහණයේ ශීඝ්‍ර අඩුවීම යැයි ද මත්ස්‍ය අපනයනකරුවන් පෙන්වා දී ඇත.  

මත්ස්‍ය ගහණය අඩුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැම් ධීවරයන් කුඩා ටූනා මත්ස්‍ය පැටවුන් දැල් යොදා ඇල්ලීම බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වාදෙයි.මේ අනුව මසුන් අල්ලන යාත්‍රා අඛණ්ඩව පරීක්ෂා කරන්නැයි ටූනා මසුන් අල්ලන ධීවරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2015 වසරේදී පමණක් අපනයන කර තිබෙන ටූනා මසුන්ගේ සංඛ්‍යාව මෙටි්‍රක් ටොන් 9,845ක් වන අතර එය සමස්ත මත්ස්‍ය අපනයනවලින් සියයට 56.4ක් වන අතර ඉන් ලද ආදායම රුපියල් මිලියන 13,688කි.