(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සළකා බැලීම සැප්තැම්බර් 19 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.
මෙම පෙත්සම ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම් සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් ගොනු කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම්කරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීමට තීරණය කර ඇත්නම් මුලින්ම ඊට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ගත යුතු බවත් , එසේ නොකර විදුලි බල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇති බවය.
එලෙස මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් නොකර එය කැබිනට් මණ්ඩලයෙන් පමණක් අනුමැතිය ගැනීම වැරදි පූර්වාදර්ශයක් වන්නේ යැයිද ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
එබැවින් මෙම ටෙන්ඩරය වැඩිම ලංසුවකට චීන සමාගමකට ලබාදුන්හොත් මහජනතාවට විශාල අගතියක් සිදු වන්නේ යැයිද ජනාධිපති නීතීඥවරයා එහීදී වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු බලපෑමක් නොකරන බවත් එම ටෙන්ඩරයේ අදාල සියලූ නිර්දේශයන් සිදුකරන්නේ තාක්ෂණික කමිටුව මගින් පමණක් බවය.
මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් සිදු කරන්නේ අනුමත කිරීම වුවද අවසාන නියෝගය ක‍්‍රියාත්මක කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව බවයි.
මේ අනුව කරුණු සලකා බැලූ ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන සැප්තැම්බර් 19 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළහ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරු සිය පෙත්සම මඟින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ බලාගාරයේ ගොඩනැගීමේ කටයුතු ”ලක්ධනව් ” නැමැති ලාංකික සමාගමක් වෙත පැවරීමට ඒ පිළිබඳව අධ්‍යයනය කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීන්දු කර තිබූ බවයි.
එහෙත් තාක්ෂණ කමිටුවේ නිර්දේශ උල්ලංඝනය කරමින් අදාළ කටයුතු චීන සමාගමක් වෙත පැවරීමට රජය ක‍්‍රියා කරමින් සිටින බව තමන්ට දැනගන්නට ලැබෙන බව සඳහන් කරන පෙත්සම්කරු ඒ හරහා ශ‍්‍රී ලංකා රජයට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ට ද විශාල අගතියක් සිදුවන බවද සඳහන් කරයි.
මේ හේතුවෙන් අදාළ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි, නීතීඥ රුවන්ත කුරේ , නීතීඥ බුද්ධික ඉලංගතිලක , එන්.නවාස් සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරුන් පෙනී සිටියහ.