කෙරවලපිටිය ටෙන්ඩරය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්


නිමල කොඩිතුවක්කු
 
කෙරවලපිටිය විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමේදී සිදුව ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (20) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
 

දේශීය සමාගමක් විදුලි ඒකකයක් සඳහා අඩු මුදලක් සහිත ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබියදී මෙලෙස චීන සමාගමකට එය ලබාදි ඇති බවත් ඒ මගින් වසරකට රුපියල් බිලියන 42ක පාඩුවක් දැරීමට රජයට සිදුවන බවත් එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මෙසේද සඳහන් කළහ.
 
   ‘‘කෙරවලපිටිය විදුලිබලාගාර ව්‍යාපෘති අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කරලා තියෙන්නේ ලක්ධනව් කියන දේශීය සමාගමයි. මෙම අඩුම ලංසුව තිබියදී එයට වඩා වැඩි අගයක් ඉදිරිපත්  කරපු චීන සමාගමට  මෙම ටෙන්ඩරය ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා  අනිකුත් නිලධාරීන් හා එක්ව කටයුතු කර තිබෙනවා.
 
එහි ප්‍රතිඵලය විදිහට මෙම ටෙන්ඩරය  ප්‍රසම්පාදන  කමිටුව, තාක්ෂණික ඇගයීම් කමිටුව ඇතුලු  සියලුම කමිටු විසින් නිර්දේශ  කළ  දේශීය සමාගමට ලබා නොදී ඒ වෙනුවට ලේකම්වරයා  තවත් නිලධාරීන් සහභාගී කරගනිමින් මේ ටෙන්ඩර් ගනුදෙනුව සිද්ධ කරලා තියෙනවා.  මේ වනවිට කැබිනට් මණ්ඩලය තුලත්  මේ ටෙන්ඩරය පිළිබඳව ගැටලු පැන නැගී තියෙනවා.‘‘