තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 17 වැනිදා සලකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම මෙසේ කල් තබනු ලැබුවේ නියමිත විනිසුරු මඩුල්ලේ සමාජිකයන් නොමැති වීම හේතූවෙනි.
මෙම පෙත්සම ඊවා වනසුන්දර සහ මුර්දු ප‍්‍රනාන්දු යන ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82 කු නම් කර තිබේ.
පෙත්සම්කරු සිය පෙත්සම මඟින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ බලාගාරයේ ගොඩනැගීමේ කටයුතු ”ලක්ධනවි ” නැමැති ලාංකික සමාගමක් වෙත පැවරීමට ඒ පිළිබඳව අධ්‍යයනය කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීන්දු කර තිබූ බවයි. එහෙත් තාක්ෂණ කමිටුවේ නිර්දේශ උල්ලංඝණය කරමින් අදාළ කටයුතු චීන සමාගමක් වෙත පැවරීමට රජය ක්‍රියා කරමින් සිටින බව තමන්ට දැනගන්නට ලැබෙන බව සඳහන් කරන පෙත්සම්කරු ඒ හරහා ශ්‍රී ලංකා රජයට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ට ද විශාල අගතියක් සිදුවන බවද සඳහන් කරයි.

