අජන්ත කුමාර අගලකඩ
බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා නැවත ලබාදෙන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඇමැතිවරයා කතානායකවරයා වෙත ගිය සතියේ ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
මසකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කුලිය වශයෙන් ගෙවමින් දැනට අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල යොදා ගැනීම මුදල් නාස්තියක් බවද ඇමැතිවරයා සිය ලිපියෙන් දන්වා ඇතැයි ද වාර්තාවේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යනු ලබන රාජගිරිය පිහිටි කුලී ගොඩනැගිල්ල සඳහා අවුරුද් 5 ක කාලයක් වෙනුවෙන් රුපියල් මිලියන 504ක පමණ මුදලක් ගෙවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගොඩනැගිල්ලේ මාසික කුලිය ලෙස රුපියල් මිලියන 13.5 ක මුදලක් රජයේ තක්සේරුව ලෙස සඳහන් කර තිබියදී රුපියල් මිලියන 21 ක කුලියක් මාසිකව ගෙවීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ද ඉකුත් 2016 වසරේ මාර්තු 29 වැනි දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසිමක් කර තිබු බවද දැනගන්නට තිබේ.
මාසික කුලි මුදලට අමතරව ආරක්ෂිත තැන්පතු ලෙස රුපියල් මිලියන 63 ක මුදලක් ද ගෙවා ඇති අතර රජයේ අවශ්‍යතාවට කුලියට ගන්නා ගොඩනැගිලිවලට ආරක්ෂක තැන්පතු මුදලක් නොගෙවන බවද විගණකාධිපතිවරයා එම ලිපියෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.
මේ අතර රජයේ අවශ්‍යතාවට ගනු ලබන ගොඩනැගිලි වසර තුනක කාලයකට ලබාගත්තද මෙම ගිවිසුම වසර 5 ක කාලයක් සඳහා අත්සන් කර ඇතැයි ද වසර 5 කට පෙර ගිවිසුමෙන් ඉවත්වන්නේ නම් ඒ නැතැයි ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර 2016 මාර්තු 14 වැනි දා මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇති නියෝජ්‍ය විගණකාධිපතිවරයා බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්ටයාර් 1 ක භූමි ප්‍රමාණයක් අමාත්‍යාංශය සතුව තිබියදී එහි ගොඩනැගිල්ලක් ඉදි නොකර වසරකට කුලිය රුපියල් මිලියන 21 ක් බැගින් වසර 5කට දල වශයෙන් රුපියල් 1000ක පමණ කුලී ගෙවීමට එකඟවීම හා කමිටුවකින් මිල තීරණය කිරිම හෝ තරගකාරී මිල ගණන් පදනම් කර ගැනීමකින් තොරව ගන්නා ලද මෙම තීරණය විචක්ෂණභාවයකින් තොර බව නිරික්ෂණය වේ යැයි සිය ලිපියෙන් පෙන්වාදී ඇති බව සඳහන් වේ.
නියෝජ්‍ය විගණකාධිපතිවරයාගේ ලිපියට පිළිතුරු ලෙස අමාත්‍යාංශය ලේකම්වරයා 2016 වසරේ අප්‍රේල් මස 6 වැනි දා ලිපියක් යවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය විචක්ෂණභාවයකින් තොරව ගෙන ඇතැයි යන ඔබේ නිරික්ෂණයට පිළිතුරු දීම වෙනුවට නිහඬව සිටිමට මා හට දෙන ලෙස කාරුණිකව ඉල්ලමි යනුවෙන් එහි සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.