කෘෂිකර්ම අමාත්‍යංශය යළි පරණ තැනටම


(විනීතා එම් ගමගේ)
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන ඇති රාජගිරියේ ගොඩනැගිල්ලේ බදු ගිවිසුමෙන් ඉවත්ව යළි ගොවිජන මන්දිරයේ  ගොඩනැගිල්ලට අමාත්‍යංශය ගෙන යාමේ හැකියාව ගැන සොයා  බලමින් සිටින බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.

එම ගොඩනැගිල්ලට අමාත්‍යංශය ගෙන යන්නට කටයුතු සලස්වා දෙන්නැයි ඉල්ලා කතානායකවරයාට  ලිපියක් භාර දුන් බව ද හෙතෙම කියා සිටියේය. 


කෘෂිකර්ම අමාත්‍යංශයට වඩාත් සුදුසු වන්නේ අමාත්‍යංශය පෙර පැවැති රජමල්වත්ත පාරේ ගොඩනැගිල්ල බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශය පැවැතිය යුත්තේ වගාවක් කර පෙන්විය හැකි ගොවින්ට හිතකර  පරිසරයක් ඇති තැනක් බවත් පෙර පැවැති ගොඩනැගිල්ල මේ අතින් ඉතා සුදුසු බවත් අමාත්‍යවරයා කීය. 


පාර්ලිමේන්තු ආංශික කාරක සභාවලට ලබා ගැනීමට යැයි පවසා හිස් කරගත් කෘෂිකර්ම අමාත්‍යංශය පැවැති ගොවිජන මන්දිර ගොඩනැගිල්ල එවැන්නකට පවරා ගෙන නැති බවත් මේ වනවිට එය ප‍්‍රතිසංස්කරණය කරමින් සිටින බවත් එය සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ වියදමින් බවත් කී අමරවීර මහතා ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කිසිදු වියදමක් නොදරන බවත් කියා සිටියේය.