කෘෂි රක්ෂණ මුදලත් ආණ්ඩුවෙන් දරයි


විනීතා එම් ගමගේ
 
කෘෂි රක්ෂණය වෙනුවෙන් ගොවින් ගෙන් අයකළ අක්කරයකට රුපියල් 1350 ක මුදල වහාම ක‍්‍රියාත්මක වන පරිදි අහෝසි කරමින් ඒ මුදල රජයෙන් දරන්නට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය. 
 
ඒ අනුව ගොවින්ට රුපියල් 40000 ක කෘෂි රක්ෂණයක් නොමිලේ ලබා දීමට රජය කටයුතු කරන බව ද අමරවීර මහතා කීය. 
 
මේ සඳහා මිලියන 5228 ක් රජය දරන බව ද හෙතෙම කියා සිටියේය. පොහොර සමඟ ගොවීන් වෙත මේ අනුව රක්ෂණය  ලබා දීමට රජය පියවර ගෙන ඇති බව කී අමාත්‍යවරයා මේ සහනය වී  මෙන්ම බඩඉරිඟු, සෝයා, ලොකු ලූණු, අර්තාපල්, යන බෝග සඳහා ද ලැබෙන බව කියා සිටියේය. 
 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෘෂීකර්ම අමාත්‍යංශයේ අද  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලමින් අයදුම්පත් 3500 ක් පමණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි ද හෙළි කළේය. 
 
එයින් සමහර අයදුම්පත් සඳහා අවසර දිය යුතු වන ඒවා බව ද හෙතෙම කියා සිටියේය. උදාහරණයක් ලෙස කූඹුරු  පනත අනුව ඉඩමක නමක් දෙණිය, පිල්ලෑව, කමත ,කූඹුර යන වදන්වලින් අවසන්ව ඇත්නම් ඒ සඳහා ද ඉදිකිරීම්වලදී අවසර ගත යුතු බැවින් එම ඉඩම් සඳහා ද අවසර ඉල්ලූ අයදුම්පත් මෙහි ඇති බවත් ඒවා නිදහස්  කළ යුතු බවත් අමරවීර මහතා කීය. 
 
එමෙන්ම සමහර කුඹුරුවල වී වගාව අසාර්ථක බව තහවුරු වී ඇත්නම් එහි වෙනත් වගාවකට අවසර දීමට නිර්දේශ කරන බවත් ඒ වාර්ෂික බෝග සඳහා පමණක් බවත් ඔහු පැවැසීය. අනෙක් අයදුම්පත් පිළිබඳව ගැඹුරින් සළකා බලන්නට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.