කෘෂි ආර්ථිකය නංවන්න යුරෝපයෙන් කෝටි 81 ක්



 
 
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සඳහා සහයෝගය යනුවෙන් ව්‍යාපෘතියක් යුරෝපා සංගමයේ රුපියල් මිලියන 810ක (රුපියල් කෝටි 81) වියදමින් ඉකුත් දා ආරම්භ කරන ලදි.

 
 ‘ඊකෝරිස්’ ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.  කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා පහසුකම් සැපයීම මගින් මෙරට කෘෂිකර්මාන්තය වඩාත් ඵලදායී, විවිධාංගීකරණය වූ, දේශගුණයට ඔරොත්තු දෙන වෙළෙඳපොළ ඉලක්ක කරගත් සහ සාධාරණ කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන තාක්ෂණික කණ්ඩායම ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදීමට නියමිතය. 
 
ස්ත්‍රී/පුරුෂ භාවය, දේශගුණ විපර්යාස, පෝෂණය සහ තාරුණ්‍යය යන කෘෂිකර්මාන්තයට සම්බන්ධ ගැටලු ද ඇතුළත් පරිපූර්ණ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ගොඩනැගීමට ද මෙම ව්‍යාපෘතිය සහයෝගය ලබා දෙනු ඇත.
 
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමය ආරම්භ කරන පුළුල් වැඩසටහනේ කොටසක් ලෙස මෙම ප්‍රතිපාදන මෙරට ලැබෙන අතර ග්‍රාමීය ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම ප්‍රධාන අරමුණ වී තිබේ. 
 
මෙම වැඩසටහන 2020 දී අවසන් කිරීමට අපේක්ෂිතය.  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සහ තවත් පාර්ශව කිහිපයක් යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ හවුල්කරුවෝ වෙති. 
 
055