කුවේට් ජාතිකයකුගේ පහරදීමකින් රේගු නිලධාරීන් 5ක් රෝහලේ


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට බල්ලෙක් රැගෙන පැමිණි කුවේට් ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (27) රාජකාරියේ  නියැලී සිටි රේගු නිලධාරීන් පිරිසකට පහර දී තුවාල සිදු කර ඔවුන්ගේ රාජකාරියටද බාධා කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ගෙන ආ විට කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් විශේෂ පෝරමයක් පුරවා  සත්ත්වයාට එරටින් නිකුත් කළ සහතික පත්ද සමඟ එම සත්ත්වයා  ගුවන් තොටුපොළ සත්ත්ව  නීරෝධායන ආයතනය වෙත ඉදිරිපත් කිරීම රේගු නිලධාරීන්ගේ රාජකාරිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

එහෙත් මෙම කුවේට් ජාතික යුවළ එයට බාධා කරමින් එම කටයුතු ප්‍රතික්ෂේප කරමින් තමන්ට ප්‍රමාද වන බව පවසා ගුවන් තොටුපොළෙන් පිට වීමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ දී රේගු නිලධාරීන් මොවුන් ගුවන් තොටුපොළෙන් පිටතට යෑම වැළැක්වීමට උත්සහ කිරීමේදී කුවේට් ජාතිකයා රේගු නිලධාරීන්ට පහර දී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

මෙම පහර දීමෙන් කටුනායක ගුවන් තොටුපොළ සේවයෙහි නියැලී සිටි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු , කාන්තා රේගු නිලධාරිනියක ඇතුළුව රේගු නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව රේගු නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව මෙම කුවේට් යුවළ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් විසින් රැගෙන ආ බල්ලා ගුවන් තොටුපොළ සත්ත්ව නීරෝධායන ආයතනය වෙත භාර දී තිබේ

මෙම කුවේට් ජාතික යුවළ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන් තොටුපොළ පොලිසිය කියයි.