කුවේට් ගිය ශ්‍රමිකයින් 56 ක් යළි ලංකාවට


කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 56  දෙනකුගෙන් සමන්විත පිරිසක්  අද යළි  ශ්‍රී ලංකාවට පැමිණියහ.
 
 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත  ඔවුන් මෙලෙස ගෙන්වාගෙන තිබිණි.
 
 ඔවුහු  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.මෙම පිරිස අතරට පිරිමි ශ්‍රමිකයින් 9 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයින් 47 දෙනෙකු  සිටින බව කාර්යාංශය පවසයි.
 
 දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත.
 
මෙම පිරිස අතුරින් ශ්‍රමිකයින් 42 දෙනෙකු තම ඥාතීන් සමගඟ  නිවෙස් බලා පිටත්ව ගිය අතර, තවත් ශ්‍රමිකයින් 15 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබා දීමට කටයුතු කර තිබිණි.
 
 මෙම පිරිස අතුරින් කාන්තාවන් 02 අසනීප තත්ත්වයේ පසුවන බව කාර්යාංශය පවසයි.

(36698)