කුවෙට්හී ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්


(තිළිණි ද සිල්වා)

නීත්‍යානුකූලව වීසා බලපත‍්‍ර නොමැතිව කුවේට් හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා එරට රජය විසින් ලබන සඳුඳා (29) සිට බලපැවැත්වෙන පරිදි  පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව ලබන සඳුඳා (29)  සිට පෙබරවාරි මස 22 වනදා දක්වා  එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එම පොදු සමාකාලය ලබාදෙනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

පොදු සමා කාලය යටතේ වීසා නොමැතිව කුවේට්හි වෙසෙන  විදේශිකයින්ට දඩ මුදල් ගෙවීමකින් තොරව එරටින් පිටවිය හැකි වන අතරම  මෙම කාලය තුළදී තමන් විසින් ගෙවීමට ඇති අදාළ සියලූ දඩ මුදල් ගෙවා  වලංගු විසා බලපත‍්‍රය ලබාගෙන තවදුරටත් කුවේට්හි රැඳීසිටීමට හැකියාව පවතින බව ද තානාපති කාර්යාලය පෙන්වා දේ.

මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවීමට අවසර ලබාදී තිබියදීත් එසේ නොකර එරට තවදුරටත් රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් කටයුතු කරන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

ගමන් තහනම් හෝ උසාවි මගින් තහංචි පනවා ඇති අයට මෙම පොදු සමාව අදාළ නොවන අතර  එවැනි නීතිමය ගැටළු ඇති  අය  ළගම ඇති ‘‘ජවසාත් ’’ (එරට නේවාසික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව )   වෙත ගොස් තම ගැටළු විසඳා ගැනීමට පියවර ගත යුතුය.

එසේම මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවීමට අවසර ලබාදී තිබියදීත්, එසේ නොකර තවදුරටත් රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට නීති ප‍්‍රකාරව මෙරට බලධාරීන් විසින් පියවර ගනු ලැබේ.  එමෙන්ම මෙම පොදු සමා කාලය පටන් ගන්නා සඳුඳා (29) දිනෙන් පසුව කුවේට් රටට පැමිණෙන සහ එදිනෙන් පසු නීති කඩකිරීම් සිදු කරන අය හට මෙම පොදු සමා කාලය  හරහා සහනයන් නොලැබේ.   

වර්තමානයේ කුවේට් රාජ්‍යයේ 15,447 ට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් වලංගු වීසා නොමැතිව රැඳී සිටින අතර, මෙලෙස නීත්‍යානුකූල නොවන සිය ඥාතී පිරිස් කුවේට් රාජ්‍යයේ රැඳී සිටී නම්  මෙම පොදු සමා කාලය තුළ තම වීසා යාවත්කාලින කරගැනීමට හෝ නැවත ශ්‍රීලංකාවට යාමට කටයුතු කරන ලෙසට ඔවුන් දැනුවත් කරන ලෙස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.