කුවෙට් සංගීතයේදී අත්අඩංගුවට ගත් ලාංකික පිරිසට නිදහස


 

(විමුක්ති එස් රුද්‍රිගු)

කුවේට් පොලිසිය විසින් "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගයේදී පසුගිය 2 වැනිදා අත් අඩංගුවට ගනු ලැබූ ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු නිදහස් කරගැනීමට හැකිවූ බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය.

කුවේට්හිදී පසුගිය 2 වැනිදා පැවැත්වූ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා එරට බලධාරීන්ගෙන් අවසර ලබාගෙන නොතිබීම  හේතුවෙන් එයට සහභාගීවූ ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු කුවේට් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ බව කුවේට් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කුවේට් පොලිසිය එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ එයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට කුවේටය බලා පැමිණි  කලාකරුවන්ද සිටි බව කුවේට් තානාපති කාර්යාලය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ තානාපති කාර්යාල නිලධාරීන් කුවේට් පොලිසිය වෙත ගොස් ශ්‍රී ලාංකිකයන්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනාගෙන් 24 දෙනකු ඊයේ(03) නිදහස් කර ගැනීමට හැකිවූ බවත් කුවේට් තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සංගීත ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයන් දෙදෙනකු කුවේට් පොලිස් අත් අඩංගුවේ පසුවන බවත් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුවන බවත් කුවේට් තානාපති කාර්යාලය පැවැසුවේය.

"එතෙර අපි සංවිධානයේ" කුවේට් ශාඛාව පසුගිය 2 වැනිදා පැවැත්වූ "ශ්‍රී ලංකන් සමර් නයිට්ස්" සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබිණි.