දිනේෂ් උපේන්ද්‍ර
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අනුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගනුම ලබන නිවුන් සහෝදර සහෝදරියන් තිදෙනෙකු සාමාර්ථ නවය බැගින් ලබාගෙන සමත්වී තිබිණ.
නාගොල්ලාගොඩ පිහිඹිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින එම විශිෂ්ඨයින් වනුයේ ඊ එම් දිව්‍යාංජලී දෙව්මිනී කුමාරසිංහ, ඊ එම් නවාංජලී නෙත්මිනී කුමාරසිංහ හා ඊ එම් ප‍්‍රියංජන පියුමන්ත කුමාරසිංහ නැමැති 2018 සාමාන්‍යපෙළ විභාගයට සිංහල මාධ්‍යයෙන් පෙනීසිටි සිසු සිසුවියන් තිදෙනෙකි.
නිවුන් දරුවන්ව ඉපිදි එකටම ශිෂ්‍යත්වය ජයගෙන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත්ව මෙසේ විශිෂ්ඨ ප‍්‍රතිපල තිදෙනාටම ලබාගැනීමට හැකිවීම පිළිබඳව තිදෙනාම මහත් සතුටකින් කතා කළහ.
ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ සිසුහු මෙසේ පැවසූහ.
‘‘අපි ඉපදිලා තියෙන්නෙ එකට. හැදී වැඩුනෙ එකට. පිහිඹිය විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යපනය හැදෑරුවෙ. එතනින් විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්වය සමත්වෙලා කුලියාපිටියෙ මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණ දවසෙ ඉඳලා අපි පන්තියෙ 1 2 හා 3 ස්ථාන අතර හිටියා. අපි හැමෝටම පුදුම කැපවීමකින් අපේ පාසලේ ගුරුවරු ඉගැන්වූවා. ඒ උගන්වන දෙය ග්‍රහණය කරගන්න විදිහයි වැදගත්වෙන්නෙ.
අපි කවදාවත් පන්ති මගහැරලා නැහැ. ඒ වගේම යාළුවො එක්ක බස් නැවතුමේ එහා මෙහා ඇවිදින්න ඕන කියන හීනමානය අපිට තිබුනෙ නැහැ. අපිට අපේ තාත්තා හොඳ යාලුවෙක්. කවදාවත් අපිට පාඩම් කරන්න බලපෑම් කළේ නැහැ. එයා අපිට නිරන්තරයෙන් කිව්වෙ කිසිවෙකුගෙන් වචන අහන්න එපා කියන එකයි. තාත්තා හැමදාම අම්මා එක්ක අපි ළඟ ඉඳලා සමාජය ගැන කියා දුන්නා. අපිට නීති දැම්මා. ඒ සමාජෙ හොඳ පුරවැසියන් කරන්නයි.
අපි පස්සෙම තාත්තා අම්මා හිටියට අපේ නිදහසට ඒක බාධවක් වුණේ නැහැ. අපි තුන්දෙනාටම මුහුණු පොතේ ගිණුම් නැහැ. ඒ වගේම ස්මාට් දුරකථන භාවිතා කළේ නැහැ. ඒත් අපි සමාජෙන් කොන් වුණෙත් නැහැ. හැම කෙනාම අපිට පුදුම විදිහට ආදරය කළා.‘‘
එම දරුවන්ගේ පියා ජානක කුමාරසිංහ මහතාය. මව අචලා ද දිසානායක මහත්මියය. ඔවුහු මෙසේ පැවසූහ.
‘‘අපි පුදුම වාසනාවන්ත දෙමාපියන්. ඒත් මේ සුන්දර අවස්ථාවෙ එක අමිහිරි මතකයක් සිහිවෙනවා. අපිට නිවුන් දරුවන් සිව් දෙනෙකු ඉපදුනා. අවාසනාවට එක් දැරියක මිය ගියා. අද හිටිය නම් මේ ගෙදර ඒ9 සාමාර්ථ 36ක්. කෙසේවෙතත් අපි නම් ප‍්‍රතිඵල බලන්නවත් උත්සය කළේ නැත්තෙ අපි මේ දරුවන් වැඩ කරපු විදිහට මේ ප‍්‍රතිඵලය කලින්ම දැනගන හිටියා. අපි විභාගෙට දරුවො තුන්දෙනා මහන්සි වෙනකොට කිව්වෙ දැන් ඇති පොඩ්ඩක් සෙල්ලම් කරන්න කියලා. නමුත් ඒ අය තමන්ගෙ ඉලක්කය සපුරාගෙන තියනවා. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය කියන්නෙ වයඹ ප‍්‍රමුඛ පාසලක්. ඒ පාසලේ දෙමාපිය රැස්වීමෙ වේදිකාවෙ පුටු වෙන් කරනවා. වසරෙම හොඳම සිසුන් 10 ගෙ මවුපියන්ට. ඒ පුටු අපි වෙනුවෙන් වෙන්කරලා දුන්න අපේ දරුවන්ට අපි ණය ගැතියි. මේ වෙනකල් අර වරද කළා, මේ වරද කළා, කියලා කිසිදු පැමිණිල්ලක් අපේ දරුවන්ට එල්ල වෙලා නැහැ.
තම ගුරුභවතුන් වූ හේමමාලි සමරතුංග, වසන්ති පුෂ්පලතා, සනත් වික‍්‍රමනායක යන ගුරුමව්පියවරුන් ඇතුළු සමස්ථ ගුරුවරුන්ම ගෞරවයෙන් සිහිපත් කළ එම දරුතිදෙනා තම අනාගත ඉලක්කය වන වෛද්‍යවරුන් වීමේ අරමුණ ඉටුකරගැනීමට උනන්දු වන බව පැවසූහ.



