ක්‍රිෂාන් ජීවක ජයරුක්
එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වු කුරුදු පොලු ගැටුමට අදාල නඩු වලට අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය එම නඩු තුනම ලබන වසරේ පෙබරවාරි මස 11 වැනි දින දක්වා කල් තැබීමට අද (30) නියෝග කළාය.
අධිකරණය හමුවේ පෙනී නොසිටි තවත් සැකකරුවන් දෙදෙනෙකුගේ ඇපකරුවන් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ අතර එම සැකකරුවන්ට අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන් ඉදිරිපත් නොවීමේ සාධාරන හේතු සාක්ෂි සහිතව ඊළඟ දින ඉදිරිපත් කරන ලෙසටද දැනුම් දුන්නාය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු සැකකරුවෝ 53 දෙනෙක් ඊයේ (30) අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම නඩු විභාගය පවතින අතරතුර ඊට සම්බන්ධ හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබුණි.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් වූ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න,ඔහුගේ පියා වන හර්මන් ගුණරත්න හා පුතු චරිත ගුණරත්න යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත් වන්නැයි බල කරමින් එම පක්ෂයේම ආධාරකරුවන් පිරිසක් දෙවිනුවර නගරයේ සිට කොළඹ දක්වා ගමන් කළ පා ගමනට ප්‍රහාරයක් එල්ල වී තිබුණේ 2013 වසරේ ඔක්තොම්බර් මස 05 වැනිදාය. එහිදී එකම පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් කුරුදු පොලු වලින් ගුටි බැට හුවමාරු කර ගත් අතර පහළෝස් දෙනෙක් පමණ තුවාල ලැබූහ.
එම ගැටුම අතරතුරදී වෙඩි තැබීමක් ද සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් හිටපු පළාත් මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතාට එරෙහිව මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සමග අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවන් අතර අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික ලේකම් සුගත් චන්ද්‍රසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සන්දිත් සමරසිංහ, ලක්ෂ්මන් විජේමාන්න, කලුතර දිස්ත්‍රික් කළමණාකරු ප්‍රසාද් හෙට්ටිආරච්චි ,දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන බී.ජී.චන්දන ප්‍රියන්ත,ගයාන් සංජීව,ක්‍රිෂාන්ත පුෂ්පකුමාර,හබරාදුව හිටපු ආසන සංවිධායක ලයනල් ඉපිලවත්ත ,මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, මාතර හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන නුස්කි ඉක්බාල්, නලින් අබේගුණවර්ධන, ජගත් නල්ලපෙරුම, එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක නීතිඥ කමල් ද සොයිසා, හිටපු නාගරික මන්ත්‍රී නීතිඥ නදිල් මාලගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්.විමලසිරි, මාතර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලයනල් කොඩිකාර, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හේමසිරි කොඩිතුවක්කු, එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මාධ්‍ය ලේකම් උදයංග සඳරුවන්, අමාත්‍ය සාගල රත්නායක මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරි ලහිරු ජයසිංහ ගැරට්, අගලවත්ත සංවිධායක ගාමිණි නල්ලපෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් ද වූහ.
තවද මෙම සිද්ධියේදී වෙඩි වැදී තවමත් අසනීප තත්ත්වයේ සිටින මාතර හිටපු නාගරික මන්ත්‍රී ජාලය මහතා කිහිප දෙනෙකුගේ ආධාර ඇතිව පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම නඩුව දැක බලා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් ද පැමිණ සිටියහ.

