කුරුණෑගල ප්‍රථම වකුගඩු බද්ධය සාර්ථකව නිම වෙයි


(පුෂ්පකුමාර ජයරත්න)

අඩුපාඩුකම් රාශියක් මධ්‍යයේ  කුරුණෑගල ශික්ෂණ රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට වකුගඩු දෙකම හානියට පත් රෝගියකුට මියගිය පුද්ගලයකුගෙන් ලබාගත් වකුගඩු දෙකක් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කළේය.

නිකවැරටිය ඉහපොළගම පදිංචි ටී.එම්.එස්.එම්.බණ්ඩාර තෙන්නකෝන් මහතාට (36) මෙම සාර්ථක වකුගඩු බද්ධය සිදුකර ඇත. ඔහු වෘත්තියෙන් පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු මේ වන විට ආණමඩුව පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටී.

රිය අනතුරකට ගොදුරුව බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය 9 හැවිරිදි දරුවකුගෙන් ලබාගත් වකුගඩු දෙකක් තෙන්නකෝන් මහතාට බද්ධ කර ඇත .

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මියගිය දරුවා ද නිකවැරටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩබලන රුධිර වාහිනී සහ බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය බුද්ධිමා ජයවික්‍රම මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම සාර්ථක සැත්කම සිදු කරන ලදී.

විශේෂඥ වෛද්‍ය බුද්ධිමා ජයවික්‍රම මහත්මිය මෙම සැත්කම සම්බන්ධයෙන් මෙසේ විස්තර කළාය.

" අපි පෙරේදා (2) පාන්දර මේ ශල්‍යකර්මය සිදුකළා. අපි ඒ සඳහා වකුගඩු ලබාගත්තේ මොළය මියගිය වයස අවුරුදු නවයක කුඩා දරුවකුගෙන්. දරුවාගෙන් ලබාගත් වකුගඩු අපි බද්ධ කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් දිගු කාලයක් ප්‍රතිකාර ලබාගන්න අවුරුදු 36 ක් වූ වැඩිහිටියකුටයි. "

" මේ රෝගීයාගේ වකුගඩු දෙකම නරක් වෙලා අසාධ්‍ය තත්ත්වයකයි සිටියේ. වකුගඩු දෙකම කුඩා දරුවකුගේ වූ නිසා අපි ඒ වකුගඩු දෙකම මේ රෝගීයාට බද්ධ කළා. මේ ශල්‍යකර්මය ඉතාම සාර්ථක වුණා. රෝගියා ඉතාම හොඳින් සුවය ලබමින් සිටිනවා . මෙම වකුගඩු බද්ධ කිරීම වයඹ පළාතේ සිදුකළ ප්‍රථම වකුගඩු බද්ධය විදිහට හඳුන්වන්න පුළුවන් " .

" අපි මේ ශල්‍යකර්මයට තීරණය ගත්තේ හදිසියෙන්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින මොළය මියගිය දරුවකුගේ අවයව පරිත්‍යාග කරන්න ඒ දරුවාගේ දෙමාපියන් කැමැත්තෙන් සිටින බව දැනගත් පසුව වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ සිටින මේ රෝගියාට අපේ රෝහලේ දීම මේ ශල්‍යකර්මය කරමු කියලා අපි ක්ෂණිකවම තීරණය කළා. "

" මෙහිදී මට වකුගඩු රෝග සම්බන්ධ කුරුණෑගල ශික්ෂණ රෝහලේ  විශේෂඥ වෛද්‍යවරුන් වන රජීව් දසනායක , කීර්ති බණ්ඩාර මහත්වරුන්ගේ  සහ එම ඒකකයේ සියලුම වෛද්‍යවරුන්ගේ මෙන්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ශ්‍රියා හේරත් යන වෛද්‍යවරුන්ගේ සහායත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ උපරිම සහායත් මේ ශල්‍යකර්මයට ලැබුණා . ඒ වාගේම අඩුපාඩු රැසක් මධ්‍යයේ මේ ශල්‍යකර්මය සාර්ථක කර ගැනීමට ශල්‍යාගාරයේ හෙද කාර්ය මණ්ඩලයත්  කණිෂ්ඨ කාර්ය මණ්ඩලයත් විශේෂ සහායක් ලබා දුන්නා . ඒ වගේම අනුරාධපුර මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජොයෙල් අරුත්සෙල්වම් මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයත් කුරුණෑගලට ඇවිල්ලා මේ පළමු ශල්‍යකර්මය සාර්ථක කරගන්න මට විශේෂ සහායක් ලබා දුන්නා "

" අවයව ලබා ගැනීමත් සහ බද්ධ කිරීමත් අපි එකම ශල්‍යාගාරයක තමයි සිදුකළේ . අපි රාත්‍රි 10.00 ට තමයි අපි ශල්‍යකර්මය පටන් ගත්තේ. අවසන් කළේ පාන්දර 5.00 ට. පැය හතක් පමණ මේ සඳහා කාලය ගතවුණා . මීට කලින් අපි කළේ මේ විදිහට පරිත්‍යාග කරන වකුගඩු මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු ශල්‍යකර්ම සඳහා යැවීමයි"

" මේ ශල්‍යකර්මය හදිසියේම තීරණය කරලා කරපු දෙයක් නිසා ගොඩාක් අඩුපාඩු මධ්‍යයේ තමයි අපිට කරන්න වුණේ . මේ වාගේ ශල්‍යකර්ම ඉදිරියටත් සාර්ථකව සිදු කරන්නනම් ඒ සඳහා අවශ්‍ය ශල්‍යාගාර උපකරණ , බෙහෙත් වර්ග අවශ්‍ය වෙනවා. මොකද මේ ශල්‍යකර්මයට අවශ්‍ය උපකරණ  බෙහෙත් ආදිය කුරුණෑගල  නොතිබුණු නිසා අපි ඒවා ලබා ගත්තේ මහනුවර සහ අනුරාධපුර රෝහල් වලිනුයි . ඒ සඳහා ලබා දුන්න සහායට අපි එම රෝහල් වලටත් ස්තූතිවන්ත වෙනවා. ඉදිරියට මේ අවශ්‍ය පහසුකම් ලබා දුන්නොත් මෙවැනි අසීරු ශල්‍යකර්ම වුණත් කිරීමට තරම් කුරුණෑගල ශික්ෂණ රෝහල දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා ".

මෙම ශල්‍යකර්මය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශල්‍යකර්මයට ලක්වූ තෙන්නකෝන් මහතා පැවසුවේ මෙම ශල්‍යකර්මය හීනයක් ලෙස දකින බවයි. වකුගඩු දෙකම නරක් වී වකුගඩුවක් ලබා ගැනීමට නොහැකිව මරණය බලාපොරොත්තුවෙන් සිටි තමාට නැවත ජීවිතය ලබාදුන් දරුවාත් අඩුපාඩුකම් මධ්‍යයේ ශල්‍යකර්මයක් සිදුකර තමා සුවපත් කිරීමට උත්සාහ දරණ බුද්ධිමා ජයවික්‍රම විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමත් දෙවිවරුන් සේ දකින බවද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මේ වන විට වයඹ පළාතේ වකුගඩු රෝගයට ගොදුරු වූවන් විශාල පිරිසක් සිටින අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉතා අඩු ඉඩකඩක පිහිටි වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයෙන්ය.වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකය සඳහා ඉදිවන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ද සිදුවන්නේ ඉතා මන්දගාමීව බැවින් වකුගඩු රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති .