කුඩු සමග ඇල්ලූ ධීවරයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර


(රෝෂන් තුෂාර)

දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.,18 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85 ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනා ලබන 08 වනදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (03)අවසර ලබා දුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබා දුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ දකුණු මුහුදු තිරයේදී "සීදේවි" නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.