කුඩු ජාවාරම්කරු සමඟ පොලිස් නිලධාරියා ප්‍රපාතයකට


(රවින්ද්‍ර විරාජ්  අබයසිරි)
 
කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු හඹා ගිය පොලිස් නිලධාරියෙකු අදාළ සැකකරු ද සමඟ අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී දෙදෙනාම තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව මාතලේ පොලිසිය පවසයි.
 
මිගමුව ප්‍රදේශයේ සිට මාතලේ උකුවෙල උඩතැන්න දොඹගොඩ ප්‍රදේශයට  වෑන් රථයකින් කුඩු හා ගංජා ප්‍රවාහනය කරන  බවට මාතලේ පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව, මාර්ග බාධකයක් යොදා වෑන් රථය නතර කරන්නැයි වෑන් රථයේ රියැදුරුට පොලිසිය නියෝග කර ඇති අතර, නියෝගය පිළිනොගෙන අණ නොතකා රියැදුරු වාහනය ධාවනය කර ඇත.
 
පොලිස් නිලධාරීන් යතුරුපැදිවලින් රිය හඹාගොස් ඇති අතර, සැකකරු එක්වරම වාහනය නවතා ප්‍රපාතයකට දිවගොස් තිබේ. ඒ පිටුපස දිවගිය පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් දෙදෙනාම ප්‍රපාතයට පෙරළීමෙන් දෙදෙනා ම තුවාල ලබා ඇත.
 
සැකකරුගේ සාක්කුවේ තිබී කුඩු මිලිග්‍රෑම් 2210ක් ද, වෑන් රථයේ තිබී කුඩු මිලි ග්‍රෑම් 1400ක්ද, ගංජා මිලි ග්‍රෑම් 27200ක්ද පොලිසිය බාරයට ගෙන තිබේ. සැකකරුකුට  එරෙහිව මාතලේ අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.
 
තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය නවරත්න මහතා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
මෙම වැටලීම සඳහා මාතලේ පොලිසියේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.