කුඩාඔය ඉඩමකින් ආයුධ තොගයක්


(ඩී.කේ.රත්න)

වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

මෙසේ සොයා ගත් ආයුධ අතර  ස්නයිපර් ගිනිඅවි දෙකක්, ටී 56 ගිනි අවි එකක්, ෂොට් ගන් හතරක්, රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, බෝර 12 වර්ගයේ කාණු දෙකේ ගිනිඅවියක්, එම් 77 වර්ගයේ  ගිනිඅවි දෙකක්, වර්ගය හදුනා නොගත් කුඩා ගල්කටස් ගිනිඅවි එකක්, ටී -56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 242 ක් හා බෝර 12 ගිනි අවිවලට යොදන උණ්ඩ 430 ක් තිබී ඇතයි පොලීසිය කියයි.

මෙම ඉඩමේ හිමිකරු කොලඹ වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වන අතර මෙම අවි ආයුධ සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කුඩාඔය පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම ඉඩමේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ තොගය සොයාගෙන ඇත.

මොනරාගල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.