කුච්චවේලියෙන් කෝටි 34 ක පොලු


 

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට කටයුතු සඳහා දීර්ඝකාලීන බදු සහන මත ලබා දී ඉඩම්වලින් රජයට අය විය යුතු තිස් හතර කෝටි හැට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇතැයි ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද (9) පැවැසීය.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුපිට්ටි නැගෙනහිර(240 බී) ග්‍රාම නිලධාරී වසමේ ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ ඉරක්කන්ඩි පාලම හා සලපේ ආරූ පාලම අතර ප්‍රධාන මාර්ගය හා මුහුදු වෙරළ තීරය අසළ ප්‍රදේශයේ රජයේ ඉඩම් භාවිත කළ පුද්ගලයන් හත්දෙනකුගෙන් පමණක් රජයට අයවිය යුතු බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දාහතක් බවද හෙතෙම කීය.

ඉඩම් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන එම කරුණු සඳහන් කළේය.

අමාත්‍යාංශයේ ස්ථාපිත කර තිබෙන විමර්ශන ඒකකයෙන් මේ ආකාරයෙන් රටපුරා විමර්ශන කර රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමටත්, එසේ මුදල් නොගෙවන්නේ නම් එම ඉඩම් නැවත රජයට පවරාගෙන සුදුසු පුද්ගලයන්ට සහ ආයතන ඉඩම් ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.

ඉඩම් අහිමි ලක්ෂ ගණනක ජනතාවට ඉඩම් ලබා දී ඒවාට අදාළ ඔප්පු පිරිනැමීමටත් ඒ අනුව ඔප්පු 150,000 ක් ප්‍රදානය කිරීමට මේ වසරේ දී පියවර ගන්නා බවත් හෙතෙම කීවේය.

රජයේ ඉඩම් අවභාවිත කර හෝ අනවසරයෙන් අල්ලාගෙන හෝ සිටින පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම ඉඩම්වලට නිත්‍යනුකූලව ඔප්පු ලබා දී ඒ අතරින් සුදුසු ඉඩම් කෘෂිකාර්මික කටයුතුවලට යොදාගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. 
 
055