කුකුලේ ගඟින් විසි හතර පැයේ වැඩිම වර්ෂාපතනය වාර්තා වෙයි


( තිළිණි ද සිල්වා සහ ඩයනා උදයංගනී)

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (26) පෙරවරු 8.30 දක්වා ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙසින් මිලිමීටර් 553 වර්ෂාපතනයක් කුකුලේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව වීරකැටිය මිලිමීටර් 495 ක්, ගාල්ල බටුවංගල මිලිමීටර් 395.6 ක්, පාදුක්ක මිලිමීටර්  387.2 ක්,අවිස්සාවේල්ල මිලිමීටර් 314 ක මිලිමීටර් 300ට වැඩි වර්ෂාපතන අගයන් වාර්තා වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පවසයි.

ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ නිරිත දිග කොටසට අයත් ගාල්ල,හම්බන්තොට ,මාතර ,රත්නපුර ,කෑගල්ල ,කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසකටම මිලිමීටර් 100 යට වැඩි වර්ෂාපතන අගයන් වාර්තා වී ඇතැයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා වැඩිදුරටත් පැවසීය.