(ජුඩ් සමන්ත)
කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි කීරමුන්දලම දූපතේ සංචාරක හෝටල් හිමියකු විසින් අවිධිමත් ආකාරයෙන් වෙරළේ යොදා ඇති බව කියන ගල් වැටියක් හේතුවෙන් එම දූපත දෙකඩ වීමේ අවදානමක් පවතින බව දූපත්වාසීහු පවසති.
කල්පිටියට උතුරින් පිහිටි මෙම දූපත තුළ අතීතයේදී පවුල් 500 කට වැඩි පිරිසක් පදිංචිව සිට ඇත. නමුත් පසුගිය කාලයේ රටේ පැවති ආරක්ෂක තත්ත්වය මත ඔවුන් දූපතේ පදිංචිය තාවකාලිකව අතහැර කල්පිටියට පැමිණ තිබේ.
ඒ සමගම එම දූපතේ පවත්වා ගෙන ගිය පාසලද වැසී ගොස් ඇති අතර, තැපැල් කාර්යාලය සේවා සපයනු ලබන්නේ සතියකට දින දෙකක පමණි.නමුත් තවමත් සැළකිය යුතු පිරිසක් එම දූපතේ පදිංචිව සිටිති.
පසුගිය රජය කාලයේ ආරම්භ කරන ලද සංචාරක ව්‍යාපාරය යටතේ කීරමුන්දලම දූපතේ ද සංචාරක හෝටල් 02 ක් ඉදිකිරීම සදහා අවසරය ලබා දී ඇත. ඒ අනුව එම හොටල් මේ වන ඉදිකර තිබේ.
වාරකන් සමය එළඹීමත් සමග මුහුද රළු වී ගොඩබිම ඛාදනය වන්නට පටන් ගෙන ඇත. මෙසේ ඛාදනය වන එක් ගොඩබිමක් වන්නේ කීරමුන්දලම දූපතයි. දූපත ක්‍රමයෙන් දිය වී යන විට වහා ක්‍රියාත්මක වී ඇති එක් හෝටල් හිමියෙකු තම හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ ගල් වැටියක් යොදා ඇත. ඉන් දූපතේ ඉතිරි කොටසේ ඛාදනය වීම වැඩි වී ඇතැයි ධීවරයෝ කියති.
වසර 200 කට වඩා පැරණි කතෝලික දේවස්ථානයක්ද මෙම දූපත තුළ පිහිටා ඇති අතර පවතින තත්ත්වය නිසා එම දේවස්ථානයටද හානි සිදුවිය හැකි බව ගම්වාසීහූ පවසති..
තමන් විසින් දූපතේ භූමියේ කොටසක් මිළදී ගෙන ඇති බැවින් හෝටලය ආරක්ෂා කර ගැනීම සදහා ගල් වැටි යෙදූ බවත් දූපතේ ඉතිරි කොටස මුහුදට දිය වී යාම වැළැක්විය යුත්තේ රජය බවත් හෝටල් හිමියා පැවසීය.









