(චන්ද්‍රසේන ගමගේ)
රන්න - කට්ටකඩුවේ කීඩෑ උවදුරට ලක්වීමෙන් විනාශ වූ කුඹුරු යායකට අද (22) සවස ගොවීහු ගිනි තැබූහ.
රන්න කට්ටකඩුව ගොවීහු පවසන්නේ රන්න යායේ කුඹුරු අක්කර 250 ක් පමණ මෙම කීඩෑ උවදුර නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.සශ්‍රීකව තිබූ තම කුඹුරු යාය හිටි ගමන්ම වියළී ගිය බවත් කෘෂිකර්ම නිලධාරීන් නිර්දේශ කරන ලද කෘමි නාශක යෙදුවද ඉන් ඵලක් නොවූ බවත් එම ගොවීහු පවසති.
එම නිසා රන්න යාය කීඩෑ උවුදුරෙන් මුදවා ගැනීම සඳහා විනාශ වී ගිය කුඹුරු සියල්ල ගිනි තබන්නට තමන් තීරණය කළ බවද ආපදාවට ලක්වූ කුඹුරු හිමියෝ පවසති.
එමෙන්ම කීඩෑ උවදුර නිසා හානියට පත් වූ කුඹුරු හිමියෝ පවසන්නේ තමන්ට සිදුව ඇති පාඩුව මගහරවා ගැනීම සඳහාත් ඉදිරි කන්නයේ නැවත වගාව ආරම්භ කිරීම සඳහාත් තමන්ට යම් සහනයක් වගකිව යුතු අංශ වලින් ලබා දීමට කටයුතු කළ යුතු බවයි.
ප්‍රදේශය භාර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී විමලරත්න වනිගසිංහ මහතා පවසන්නේ කෘෂිකර්ම උපදේශකවරුන් හරහා අදාළ ගොවීන් දැනුම්වත් කළ බවත් ඒ අනුව ගොවීන් ක්‍රියා කළද කීඩෑ උවදුර මැඩ පැවැත්වීමට නොහැකි වූ බවයි.
මෙම දිලීර හානිය හා කීඩෑ උවදුර පාලනය කර ගැනීම සඳහා හානියට පත් වූ කුඹුරු සියල්ල ගිනි තබන ලෙසට කෘෂිකර්ම නිලධාරීන් ගොවීන්ට උපදෙස් දුන් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව හානියට පත් වූ ගොයමට අද සවස ගොවීන් විසින් ගිනි තැබුවද පවතින වැසි තත්වය නිසා කුඹුරු යාය සම්පූර් ණයෙන් විනාශ කිරීමට නොහැකි වූහ.
ඉදිරි දින කිහිපයේදී හානියට පත් වු කුඹුරු සියල්ල ගිනි තබා විනාශ කරන බව රන්න යායේ ගොවීහු පැවසූහ.


