කිලිනොච්චියේ ඇළකින් කොටි ආයුධ රැසක් ගොඩ ගනී


රොමේෂ් මධුෂංඛ                                                      

                        

කිලිනොච්චියේ කන්නගිනගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් හමු වූ බවට අක්කරායන්කුලම් පොලීසිය පවසයි.

පසුගියදා කන්නගිනගර් ප්‍රදේශයේ වැසියකු කැළයට ගවයන් රැගෙන ගිය අවස්ථාවේදී ගවයින් විසින් මෙම අක්කරායන් ඇළෙන් වතුර බොමින් සිටියදී මෝටාර් බෝම්බයක කොටසක් ජලයෙන් උඩට මතු වී තිබෙනු දැක ඔහු මේ පිළිබඳව අක්කරායන් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ මෙලෙස ගොඩ ගැනීමට පියවර ගෙන තිබිණි.

මෙම යුද උපකරණ අතර එල්.එම්.ජී. වර්ගයේ බර අවි තුවක්කු සඳහා යොදා ගන්නා එම්.පී.එම්.ජී  උණ්ඩ 3840 ක් එම්.පී.එම්.ජී වර්ගයේ උණ්ඩ 200 ක් සමඟ ලින්ක් කරන ලද වෑල් 2 සහ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකක් තිබී පොලීස් නිලධාරීන් විසින් ගොඩ ගනු ලැබීය.

බොහෝ කාලයක් මඩ සහිත ජලයෙන් යට වී තිබීම නිසා පතුරම් පෙට්ටි දිරාපත් වී ගොස් ඇති අතර උණ්ඩ ද  මළ බැඳී තිබේ.

ගොඩ ගත් කොටි යුද උපකරණ තොගය කිලිනොච්චි මහෙස්ත්‍රාත් වරයාගේ නියෝගයකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් විනාශ කිරීමට පියවර ගෙන ඇත.