කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබු කපුවා සොයයි


(තරිඳු ජයවර්ධන)


කතරගම කිරි වෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මානන්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට දේවාලයක කපු මහතකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසියේ ආරංචි මාර්ග කියයි.


පෙර දින රාත්‍රියේ දී වාහනයකින් පැමිණි තිදෙනකු ඒ හිමියන්ට වෙඩි තබා පලා ගොස් තිබුණු අතර තුවාල ලැබූ විහාරාධිපති හිමි සහ තවත් හිමි නමක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඒ හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගෙන ඒමට මීට ටික වේලාවකට පෙර හම්බන්තොට රෝහලෙන් රැගෙන ගිය බවත්, ගුවන් මගින් කොළඹට වැඩම කරවීමට නියමිත බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යූ.පී සීඒජී 8531 දරණ ජීප් රිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
කිරිවෙහෙර පුදබිමේ තිබෙන මහසෙන් දේව මන්දිරයේ අයිතිය සම්බන්ධයෙන් හම්බන්තොට පළාත් බද මහාධිකරණයේ නඩුවක් පැවැති අතර වසරකට පෙර දුන් එහි තීන්දුව අනුව දේව මන්දිරයේ අයිතිය ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයට පැවරිණි. නඩුතීන්දුව අනුව එම කටයුතු සිදුවූයේ ගෙවුණු මැයි මස 17 වැනි දාය.

නාහිමියන්ට වෙඩි තැබීමට හේතුව මෙම මහසෙන් දේව මන්ධිරයේ ආරවුල බව පොලිස් ආරංචි මාර්ග කියයි.


මෙම ආරවුල හා සම්බන්ධ පුද්ගලයකු මීට ඉහත දී ද නාහිමියන් අසලට පැමිණ අවියක් පෙන්වා මරණ තර්ජනය කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි ද, පොලිස් ස්ථානාධිපතිවරයා ද දැනුම්වත් කර ඇතැයි ද දැනගන්නට තිබේ.  නමුත් පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නැතැයි කිරිවෙහෙර ආරංචි මාර්ග කියයි. කිරිවෙහෙර නාහිමියන්ට හා කටයුතු කරන තවත් පුද්ගලයකුට මීට පෙර තර්ජන එල්ල වී ඇති අතර ඔහුද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.


මෙම පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවූ වා නම් පෙරදින රාත්‍රී වෙඩි තැබීම වළක්වා ගත හැකිව තිබුණු බව එම ආරංචි මාර්ග පවසයි.


මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසුවේ මීට පෙර නාහිමියන්ට තර්ජනය තිබූ බවට තොරතුරු නොලැබුණු බවයි.  මේ සම්බන්ධයෙන් දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.