කිංග්ස්වුඞ් - ඉසිපතන ජනාධිපති කුසලාන රග්බි අවසන් පුර්ව වටයට


මහනුවර පල්ලෙකැලේ ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘ජනාධිපති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 37-13 කින් පරදවා මහනුවර කිංග්ස්වුඞ් විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 17-10 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පෙරමුණේ සිටියේය. කිංග්ස්වුඞ් විදුහල ගෝලයක්, උත්සාහක දිනුම් හයකින් ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල උත්සාහක දිනුම් දෙකක් සහ ඩෙ‍්‍රප් ගෝලයක් සමගින් ලකුණු ලබා ගත්තේය. ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් පිටියේදී පැවැත්වීමට තිබු තරගයෙන් ඉසිපතන විදුහල නිතරග ජයක් ලබා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන මෙම තරගාවලියේ ශා. පීතර විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර රාජකීය විදුහල් රග්බි පිටියේ දීද, මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදීද සෙසු අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(19) පැවැත්වේ.