කැස්බෑව නගරාධිපති නිවසට පහර දීමේ සිද්ධියට 27 අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ මඩපාත නිවසට පහර දී  ගිනි තබා දේපල  කොල්ල කෑමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු 27 දෙනෙකු  අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි

කොල්ල කන ලද  ශීතකරණ දෙකක් ,රෙදි  සෝදන යන්ත්‍රයක්, පුටු සැටියක්,  පිගන් කෝප්ප මෙන්ම තවත් දේපල සහ කොල්ල කෑ එම භාණ්ඩ රැගෙන යාමට යොදාගත් ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත

එම දේපළ වල වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් පමණ වන බව පොලිසිය කියයි

ඉකුත් 9 වෙනි දින කොළඹ ගාලුමෝදර සහ කොල්ලුපිටිය අරගල කරුවන්ට පහර දීමේ  සිද්ධියෙන් අනතුරුව  පිරිසක් පැමිණ නගරාධිපතිවරයාගේ කහපොල මඩපාත නිවසට සහ ඊට යාබද ඥාති නිවසකට පහරදී  කොල්ලකා අනතුරුව ගිනි තබා අලාභානි කර තිබිණි 

සැකකරුවන් කහපොල හා අවට පදිංචිකරුවන් ය

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට  මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත

තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පිලියන්දල පොලිසිය අධිකරණයට වැඩිදුරටත් වාර්තා කළේය

පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  දිනේශ්  හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි