කැලණිය උප කුලපති, ලේඛකාධිකාරී චෝදනාවලින් නිදහස්


(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා කළ නියෝගයක් කඩ කළැයි චෝදනා ලැබ සිටි කැලණීය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ඩි සිල්වා මහත්මිය සහ එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 11 (2) වගන්ති ප්‍රකාරව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල මුද්‍රාව සහිතව නිසි පරිදි මෙම නඩුව පවරා නොතිබීම හේතුවෙන් තවදුරටත් නඩුව පවත්වාගෙන යා නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් එම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළේය.

කෙසේ වෙතත්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ පරිදි නිල නාමය යටතේ යළි නඩු පැවරීමට බාධාවක් නොවන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා එම කොමිසමට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ කැළණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසිනි.