කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුවා - විජිත හේරත්


මුදිතා දයානන්ද සහ තියේෂා අවින්දි
 
ආණ්ඩුවේ වසර තුනක් තුළ සිව් වතාවක් කැබිනට් සංශෝධන සිදුකර තමන්ගේ නොහැකියාව පෙන්නුවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02)  පැවසීය. 

 
හේරත් මහතා මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදිය. 
 
එහිදි හේරත් මහතා මෙසේද පැවසීය.
 
   ‘‘කැබිනට් මණ්ඩලය තිහට අඩුකරනවා , විද්‍යාත්මක ක්‍රමවේදයකට අමාත්‍යාංශ බෙදනවා කියලා පොරොන්දු දීගෙන තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. ඔවුන්ට එහෙම කියන්න බලකළේ පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය රටට දරන්න බැරි තරම් විශාලයි කියලා සෑම ක්ෂේත්‍රයකින්ම එල්ල වූ විවේචනයි. 
 
එහෙත් බලයට ආපු ගමන් ඒ පොරොන්දුව කැඩුවා. කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව අමාත්‍යංශ කැඩුවා විතරක් නෙවෙයි නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති ආදී විදිහට නම් කරමින් ඇමතිවරු පැටව් ගහන තත්ත්වයක් ඇති කළා. සිව්වෙනි කැබිනට් සංශෝධනය පවා විගඩමක් බවට පත්වෙලා. මේ බෙදීම් වලට කිසිම පදනමක් නැහැ.
               
මේ ඇමතිකම් ලබාදී තිබෙන්නේ එක්කෝ පළිගන්න, නැත්නම් හිතවත්කම වැඩි වර්ධනය කරගන්න. එහෙමත් නැත්නම් ආණ්ඩුවෙන් ඉවත් වීම වළක්වාගැනීම වෙනුවෙන් දෙන සංතෝෂමක් හැටියට. 
 
ඒ නිසා තමයි රටේ නගර විශාල ප්‍රමාණයක් තිබියදී ඒවා සංවර්ධනයට මෙගාපොලිස් අමාත්‍යංශය තිබියදි, යම් යම් කලාප වශයෙන් අමාත්‍යංශ්‍ය වෙන්කරලා සමහර අයට එක නගරයක සංවර්ධන කටයුතු භාර දෙන්නේ.‘‘