කැබිනට් සංශෝධනයක් වෙන්නේ නෑ - කැබිනට් ප්‍රකාශක රාජිත


( විනීතා එම් ගමගේ )

කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප‍්‍රකාශ කර නැතැයිද කී සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව පළ වූයේ මාධ්‍ය වාර්තා පමණක් යැයි ද කීවේය. 

සම කැබිනට් ප‍්‍රකාශකවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී කථාබහක් ඇති වුනා නොවේ දැයි විමසූ අවස්ථෘවේ අමාත්‍යවරයා කියා සිටියේ සෑම පක්ෂයකම කැබිනට් ප‍්‍රකාශකයෙක් සිටීම හොඳ බවයි. 

තමන් කැබිනට් ප‍්‍රකාශක ධුරයෙන් ඉවත් කළ යුතු බවට ප‍්‍රකාශ කළ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා සමඟ  පවා ඇත්තේ දේශපාලන ගැටළුවක් පමණක් බවද අමාත්‍යවරයා කීවේය. 

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා හා තමන් අතර කිසිදු පෞද්ගලික අමනාපයක් නැතැයි ද සෙනෙවිරත්න මහතා සහ තමන් අතර තිබු ප‍්‍රශ්න කිසිදු සිත් අමනාපයකින් තොරව නිමාවී ඇති බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

හෙද හෙදියන් සඳහා උපාධියක් ලබා දීමට සුදානම් වන අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය ඊට විරෝධය පළ කරනවා නොවේ දැයි මාධ්‍යෙව්දීහු විමසූහ. එම  අවස්ථාවේ අමාත්‍යවරයා පැවැසුවේ හෙද හෙදියන්ට උපාධියක් දීමේ යෝජනාව ඉදිරිපත් කළේ තමන් විසින් බවයි. එයට වෛද්‍යවරුන් විරුද්ධ වුවද මේ වනවිට එය  සමථයකට පත්ව ඇතැයි සේනාරත්න මහතා පවසයි.  

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (09) පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.