කැප්රා කෘමියා ඇතුළු වුණේ වෙනත් වරායකින් - ඇමති මතය


ෂෙල්ටන් හෙට්ටිආරච්චි
 
රුසියාවට තේ අපනයනය කිරීම පිළිබඳව මතුවී ඇති ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පැවසීය.
 
නුවරඑළියේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද පැවසීය.
 
 “කැප්රා කියන කෘමියෙක් අපේ තේ තොගයකට ඇතුල් වෙලා. ඒ නිසා රුසියානු රජය අපේ තේ ගැනීම තාවකාලිකව නතර කරලා. මෙය පුදුම සහගත දෙයක්. එම කැප්රා කියන කෘමියා ධාන්‍ය බෝග වලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලය හා අපේ රජයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල් වන්න ඇතියි කියන එකයි. 
කෙසේ වෙතත් මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් නිරාකරණය කරගන්න මේ පනවා ඇති තහනම ඉවත් කර ගන්න අපි සියලුම කටයුතු කරනවා. දැනටමත් රාජතාන්ත්‍රික මට්ටමින් අපි රුසියානු රජය සමග සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම තේ ක්ෂේත්‍රයේ සිටින ව්‍යාපාරිකයන්ට කුඩා තේ වතු හිමියන්ට අපි සහතික වෙනවා මෙම තේ ප්‍රශ්නයට ඉතාම ඉක්මනින් විසදුම් ලබා දෙන බවට.‘