කාලේ මත්පැන් බෝතල් විකිණීම නතර කිරීමට යයි


(ඩයනා උදයංගනී)

මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ  සභාපති  ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

මෙසේ අලෙවි කිරීමේ දී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්, ඉවතලන බෝතල් නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමත් මෙහි අරමුණ බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

2006 අංක 27 දරණ මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණ පනතෙහි ඇතැම් කරුණු කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි කී සභාපතිවරයා ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ආශීර්වාදයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (18) පැවති වැඩමුළුවක් අමතමිනි.

සිගරට් හා මධ්‍යසාර මත මේ වන විට පනවා තිබෙන බදු කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී සභාපතිවරයා බදු මගින් ලබාගන්නා මුදල මෙන් කිහිප ගුණයක අති විශාල මුදලක් සිගරට් හා මධ්‍යසාර භාවිතයෙන් ජනතාවට ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය වැය කරන බවද කීවේය.

එමෙන්ම තනි සිගරට්ටුව අලෙවි කිරීම වැළැක්වීමට නීති සකස් කිරීමේ යෝජනාවක් 2019 වසරේදී දෙවරක්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත් එය ඉදිරියට ගෙනයාමට නොහැකි වී ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම පනතෙහි දුම්බීමට තහනම් ප්‍රදේශ ලෙස දක්වා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන බවත්, එයින් බොහොමයක් පොදු ස්ථාන ආවරණය නොවන නිසා ‘සියලුම පොදු ස්ථාන’ ලෙස වගන්තිය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා කීවේය.

මෙම වචනය වෙනස් කර ගැනීම සඳහා තම අධිකාරිය වසර ගණනාවක් තිස්සේ අනවරත අරගලයක යෙදී සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම පනත අනුව දුම් රහිත දුම්කොළ හා ඒවා අඩංගු නිෂ්පාදන  අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති නිසා දුම්කොල සහිත බුලත් විට අලෙවි කිරීම කළ නොහැකි නමුත් එම නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බව ද ඔහු කීවේය.

සබැඳි  - මත්පැන් බෝතල් විසිකෝටි දොළොස් ලක්ෂයක් ඉකුත් වසරේ බීලා