
පාර්ලිමේන්තුවේ කාරක සභා 6 ක් සඳහා සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ විය.
ඒ අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව මන්ත්‍රීවරයන් 17 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි නිල බලයෙන් නියෝජ්‍ය කථානායකවරයා සභාපති ධූරයට පත් වන අතර, නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරන තවත් සාමාජිකයන් 15 දෙනෙකුගෙන් එය සමන්විතය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත වේ. ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා කටයුතු කරන අතර නියෝජ්‍ය කථානායකවරයාද, නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා සහ තේරීම් කාරකසභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විතය.
එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ගෘහ්‍ය කාරක සභාව සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි. එහි සභාපති කථානායකවරයා ය.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කරනු ලබන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි සභාපතිවරයා පළමු රැස්වීමේදී සාමාජික මන්ත්‍රීවරයන් විසින් නම් කෙරේ.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සාමාජිකයන් 23 දෙනෙකුගෙන් සමන්විතය. එහි සභාපතිවරයා පත්කර ගැනීමද පළමු රැස්වීමේදී සාමාජික මන්ත්‍රීවරයන් කරනු ඇත.
පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 8 ක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 8 ක් සාමාජිකත්වය දරති.

