කාන්තාවන්ට පහර දුන් එප්පාවල පොලිස් ලොක්කාගේ වැඩතහනම්


(දයාරත්න ඇඹෝගම සහ ඉන්දිකා රාමනායක)
 
එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ දී ගම්වාසින් පිරිසකට පහර දීමේ සිද්ධියට එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය ඊයේ (29) සිට අත්හිටුවා තිබේ.

මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරික්ෂක ආර්.එම්.අබේවර්ධන මහතාගේය.

එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ භාරකරත්වය සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයේදි පැවැති නඩුවකින් පසුව එහි භාරකාරත්වය මාළිගාතැන්නේ රතනසාර හිමියන්ට පැවරිමට යාමේදි  ගම්වාසින් සහ පොලිසිය අතර ගැටුමක් සිදුවී තිබිණි.
මෙහිදි ගැටුම මැඩ පැවැත්විමට පොලිසිය විසින් ගම්වාසින්ට පහරදි තිබුණි.එම පහර දීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කරන ලද අතර ඇය මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

මෙම විරෝධතාවය හේතුවෙන් පොලිසිය විසින් එදින කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එක් අයකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැර ඇතැයි එප්පාවල පොලිසිය කියයි.

මෙම පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කිරිම සඳහා උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතා කැබිතිගොල්ලැව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා පත් කර තිබුණි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා විසින් සිදුකළ පරික්ෂණයෙන් පසුව එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.