(කාංචන කුමාර ආරියදාස)
වෙසක් පුන් පොහෝ දිනට යෙදී ඇති විශේෂ නැකැත් අවස්ථාවකට අනුව දරුවන් නොමැති මව්වරුන්ට දරුවන් ලැබීමට සහ නිවෙස් වල පවතින ආරවුල් තුරන් කර සතුට සාමය ලබා දීමට යැයි පවසමින් මුදල් ලබා ගනිමින් ලිංගික අඩත්තේට්ටම් කර කාන්තාවන් රැවටු කට්ටඩියෙකු ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් 30 හැවිරිදි කට්ටඩියා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසයි.
අන්තර්ජාලය සහ දුරකථන ඔස්සේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් දැන හඳුනාගෙන මෙම පුද්ගලයා කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය කර තිබේ .ඒ අනුව ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් සමඟ හිතවත්කම් පෙන්වා එම කාන්තාවට බහිරව පූජා සහ පවුලේ දියුණුවට ශාන්ති කර්මයක් කර පසුව එම ප්‍රදේශයේ ජනතාවට එම කාන්තාව මඟින් ප්‍රචාරයක් ලබාදී දරුවන් නොමැති අයට දරුවන් ලබා දීම පවුල් අතර ගැටුම් ඇති වී ඇත්නම් ඒවා සමථයකට පත් කරදීම සහ විවිධ කාන්තා ලෙඩ රෝග සුව කරන බවට තොරතුරු ලබාදී තිබේ.
ඒ අනුව දරුවන් නොමැති මව්වරුන්ට දරුවන් ලැබීම සඳහා මෙම පුද්ගලයා එම නිවසේ කාමරයක් යොදාගෙන තනි තනිවම කාන්තාවන් කාමරයට ගෙන්වාගෙන ස්පර්ශ කරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබිණි. එම ග්‍රහණයට හසු වූ කාන්තාවන් දෙදෙනෙකු මේ පිළිබඳව ගොස් ගලේවෙල පොලිසියට දැනුම් දී තිබේ.
එම කාන්තාවන් දෙදෙනා ගෙන් එක් අයකු මෙම කට්ටඩියාට පහර දී තිබෙන බවත් පොලිස් පැමිණිල්ලේ සදහන්ව තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ කට්ටඩියා සිටින බව කියන නිවස පරීක්ෂා කර කට්ටඩියා කාමරයේ සිටියදී පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුට නවාතැන් ලබා දුන් නිවෙස් හිමිකාර කාන්තාවගෙන්ද ප්‍රශ්න කර ඇති අතර ඇය පවසා ඇත්තේ සිය ස්වාමි පුරුෂයා කොළඹ ප්‍රදේශයේ මෙවැනිම දේවාලයක සේවය කරන බවත් මෙම පුද්ගලයා එහිදී හඳුනාගත් තරුණයකු බවත්ය.
ඔහු මීට පෙර සිදු කළ මෙවැනි ශාන්තිකර්ම සාර්ථක වු නිසා බොහෝ පිරිසකට ඔහු හඳුන්වා දුන් බවද ඇය පැවසුවාය.
පොලිසිය කට්ටියගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ ස්වාමිපුරුෂයන්ට රහසිගතව එකිනෙකාට නොපෙනෙන ආකාරයෙන් තනිවම එම කාන්තාව සහ ඔහු පමණක් කාමරයක රැඳී සිටිමින් සිරුරේ තෙල් ගෑම සිදු කළ යුතු බවය. අසාධ්‍ය රෝගීන් පවා තමන් සුව කළ බව පොලිසියට ඔහු ප්‍රකාශ කළේය.
මෙම පුද්ගලයා ගෙන් අතවරයට පත් කාන්තාවන් දෙදෙනා පොලිසියට කියා ඇත්තේ එක් අයකුට දරුවන් නොමැති නිසා දරුවෙකු ලබා දීම සඳහා මුදලක් ලබාගෙන සිය ඇඳුම් ඉවත් කර අශෝබන ලෙස ස්පර්ශ කිරීමට උත්සාහ කළ බවයි.
අනිත් කාන්තාවද කියා ඇත්තේ තම පවුලේ ආරවුල් සමථයකට පත් කිරීම සඳහා තමන්ද පිහිට සොයා ආ බවයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් තිස් හැවිරිදි තරුණයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ගලේවෙල පොලීසිය සඳහන් කර සිටියේය.