කාන්තාවන් ප්‍රමුඛත්වය දරණ පවුලකට 10,000 ක් බැගින් මාස හතරක්


(පුෂ්පකුමාර  ජයරත්න)

පසුගිය නියං සමයේදී  වගා හානියට පත්  පවුල් අතර කාන්තාවන් ප්‍රමුඛත්වය දරණ දුගී පවුල් සඳහා රුපියල් 10,000 ක් බැගින් මාස හතරක කාලයක්  මුදල් සහනාධාර පිරිනැමීමට ලෝක ආහාර සංවිධානය එකඟ වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

සමෘද්ධි  සහනාධාර ලබන කුරුණෑගල, මොණරාගල, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල වෙසෙන පවුල්වලට මෙම සහනාධාරය හිමිවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සැමියා අහිමි ව කාන්තාව යටතේ නඩත්තුවන පවුල් සඳහා මෙම රුපියල් 10,000 සහනාධාරය ලබාදීමට නියමිත බවද, විශාල වශයෙන් සමාජයේ අසරණ වූ පවුල් වශයෙන් මෙම කොටස තෝරා ගැනීමට නියමිත  බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  අද (8) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුස්වීමේදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.