ගොවියාට පොහොර සහනාධාර දෙන අයුරින් ධීවරයාට භූමිතෙල් සහනාධාර දෙන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මීගමුවේ දී පැවසූහ.
බස්නාහිර ධීවරයෝ අද තෙවැනි දිනටත් මුහුදු නොගොස් එම සහනාධාරය ඉල්ලා උපවාසයේ යෙදෙති.
‘මගේ බලය සීමිතයි. මං ආගමික නායකයෙක්. දේශපාලනය බලය තිබෙන්නේ මැති ඇමැතිවරුන්ට. රජය අද ගොවියාට පොහොර සහනාධාරය ලබා දී තිබෙනවා. නමුත් සුළු පන්න ධීවරයාට ඉන්ධන සහනාධාරය දී නැහැ.
මං වගකිව යුත්තන්ගෙන් උදක්ම ඉල්ලා හිටින්නේ මුහුදු ගොස් දුක් විඳ මසුන් අල්ලන ධීවරයාට භූමිතෙල් සහනාධාරය ලබා දෙන ලෙසයි.
ඉන්ධන සහනාධාරය නොලැබීම නිසා පීඩා විඳින්නේ සුළු පන්න ධීවර කාර්මිකයායි. ඉන්ධන සහනාධාරය සුළු පන්න ධීවර කාර්මිකයාට ලබා දීමට රජයත් සමඟ සාකච්ඡා කිරීමට මං හැකි හැම උත්සාහයක්ම ගන්නවා.‘

