(හර්ෂණ තුෂාර සිල්වා)
කා බී පාරේ නැටීම ඇත්ත ජනතා විරෝධයක් නොවන බවත් එවැනි ක්‍රියාකාරකම් වලින් සිදුවන්නේ සත්‍ය ජනතා විරෝධය හෑල්ලුවට ලක්වීමක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (6) පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාව විකාර රූපී රංගනයක් පමණක් කී විජිත හේරත් මහතා විරෝධතාව මෙහෙය වූ සංවිධායකයන්ම එය අසාර්ථක යැයි පවසා තිබූ බවත් හේරත් මහතා කීවේය.
බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බව සඳහන් කළේය.
එක පුද්ගලයෙක් සතු ඒකාධිපති විධායක බලතල ඉවත්කර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇතැයි ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරියේ දී දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා එහිදි කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේ ද කීය.
“ ඇත්ත වශයෙන්ම ජනතා විරෝධී ආණ්ඩුවකට එරෙහිව පාරට බැසීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. ඒ වගේම ජනතාව පාරට බැස්සවීමේ අයිතියක් දේශපාලන පක්‍ෂවලටත් තිබෙනවා. මේ වනවිට වර්තමාන ආණ්ඩුව අපේ රට ආර්ථික වශයෙන් දරුණු ප්‍රපාතයකට ඇද දමා තිබෙනවා.
ඩොලරයට සාපේක්‍ෂව රුපියල රු. 163.30 ගණනක් දක්වා ඉහළ ගිහින්. පසුගිය මාස දෙක-තුනට පමණක් රුපියලේ කඩා වැටීම 5% කින් ඉහළ ගියා. ආනයන අපනයන පරතරය දිනෙන් දින වැඩිවෙනවා. මේ වසරේ පමණක් ඩොලර් කෝටි 400ක ණයක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. ජනතාවට ජීවත් වීමට නොහැකි ලෙස ජීවන බර වැඩිවෙලා. මේ නිසාම ජනතාව තුළ ප්‍රබල විරෝධයක් ගොඩනැගී තිබෙනවා. එය ප්‍රකාශයට පත්විය යුත්තේ සැබෑ ජනතා විරෝධයක් ලෙසයි.
නමුත් ඊයේ පැවැත්වුණේ විරෝධයකට වඩා නාඩගමක්. කාලා බීලා පාරේ නටන එක ඇත්ත ජනතා විරෝධයක් නොවෙයි. අපි දැක්කේ විකාරරූපී රංගනයක් විතරයි. එවැනි දේවල්වලින් සිදුවන්නේ ඇත්ත ජනතා විරෝධය හෑල්ලුවට ලක්වීම පමණයි. ඔවුන්ගේ විරෝධය අසාර්ථක එකක් වුණේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් විරෝධතාවය මෙහෙයවූ සංවිධායකයින්ම අසාර්ථකයි කියලා කියලා තිබුණා. උද්ඝෝෂණයට පෙර මෙය සංවිධානය කරපු පිරිස් විවිධ දේ කිව්වා. සම්පූර්ණයෙන් කොළඹ අල්ලනවා කිව්වා.
ආණ්ඩුව ගන්නේ නැතිව ආපහු යන්නේ නැහැ කිව්වා. නොනිදන රැයක් ගත කරනවා කිව්වා. මහින්ද රාජපක්‍ෂ අගමැති යැයි පාරම් බාපු විමල් වීරවංශ විසින් මෙහෙයවන වෙබ් අඩවියේම “ජනතාව බනිමින් යන්න යති ඒකාබද්ධයේ ජනබල විරෝධය අවසන්” කියලා හවස් වෙනකොටම නිවුස් ගැහුවා. සංවිධායකයින්ම විරෝධතාවය විවේචනය කරන්න පටන් අරගෙන තිබෙනවා. ඇතැම් වෙබ් සයිට්වල තිබුණා “ඒකාබද්ධයේ දේශපාලනඥයින් කොළඹ හෝටල් වෙන් කරවා ගනියි, ආධාරකරුවන් මහපාරේ තොවිල් නටයි” කියලා. ඒ නිසා ඇත්තටම එම විරෝධතාවයේ අසාර්ථකභාවය පිළිබඳව අපිට අලුතින් කියන්න දෙයක් නැහැ.

