ක්‍රෙඩිට් කාඩ් වංචාවට සැකකාර ගුරුවරිය රිමාන්ඩ්


චමිල් රූපසිංහ        

                              
අන්සතු ක්‍රෙඩ්ට් කාඩ්පතක් භාවිතා කරමින් මුදල් රැගෙන අධිකරණයෙන් ඇප ලැබ සිටි  මහනුවර ප්‍රසිද්ධ පාසලක ගුරුවරිය තවත් ගුරුවරියකගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කර රුපියල් 41,800 ක් ගත් සැකකාරිය ජුලි 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් වීරකොන් මහතා  නියෝග කළේය.


සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් සැකකාරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ තවත් ගුරුතුමියකගේ ක්‍රෙඩිට් කාඩ්පතක් ද රැගෙන මහනුවර වෙළඳ ආයතනයකින් භාණ්ඩ මිලදි ගෙන තිබුණු අතර එම කාඩ්පත හිමි ගුරුතුමිය පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් අත්අඩංගුවට ගත් අතර ඇය එම කාඩ්පත බිම වැටී තිබි ඇහිද ගත් බව අධිකරණයට පවසා  තිබිණි.


එහිදී ගුරු වෘත්තීය සළකා බලා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අවවාද කර ලක්ෂ දෙකක ශරිර ඇප මත නිදහස් කර තිබිණි.


පසුව එම විස්තරය මාධ්‍යවල පලවීමෙන් පසු තවත් ගුරුතුමියකගේ ද කාඩ්පත නැති වී ඇති බව පේරාදෙණිය පොලිසියට පසුගියදා කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද කල්දේරා මහතා විසින් විමර්ශන සිදුකර මෙම ගුරුතුමිය අත්අඩංගුවට ගනු ලැබීය.


ක්‍රෙඩිට් කාඩ්පත දෙවැනි වරට නැතිවු ගුරුතුමිය පේරාදෙණිය පොලිසියට පවසා ඇත්තේ දුරකථනයට විටින් විට විද්‍යුත් පණිවුඩ ලැබුණත් එය නිරික්ෂණය නොකළ බවත් මෙම ගුරුතුමිය අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් රැගෙන මුදල් රැගෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් පසු තමාගේ කාඩ්පත ද නැතිවී ඇති බව දැනගෙන ඇත.


එම තොරතුරු ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසිය මෙම සැකකාර ගුරුතුමිය පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ගුරුතුමියගේ ක්‍රෙඩිට් කාඩ්පත සැකකාර ගුරුතුමියගේ බෑගයේ තිබී සොයාගෙන තිබේ.