ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර දෙන්න කැබිනට් පත්‍රිකාවක් දාලා නෑ


(යොහාන් භාසුර)

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට කිසියම් පුද්ගලයකු පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අඩු තරමින් කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස අනිල් වීරසිංහ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට පළවී තිබූ පුවත්පත් වාර්තාවක් පිළිබඳව සමඟි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා එම පිළිතුරු ලබාදුන්නේය.

මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙසේ ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

“අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර අධ්‍යාපන පරිපාලනයේ පළමු පංතියේ තනතුරක්. ඒ තනතුර සඳහා සුදුසුකම් නැති අනිල් වීරසිංහ කියලා පුද්ගලයෙකුට කැබිනට් අනුමැතිය ලැබුණයි කියලා ප්‍රවෘත්තියක් තිබුණා”

“විශේෂයෙන්ම අධ්‍යාපන පරිපාලන සේවය වගේ උසස් තනතුරකට සුදුසුකම් නැති, මොකද අධ්‍යාපන පරිපාලන සේවයේ පහළ ක්ෂේත්‍රයේ අනිකුත් නිලධාරීන්ට අණ දෙන්න සිදු වෙනවා මේ සුදුසුකම් නැති පුද්ගලයට. මේ හරහා මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල නොසන්සුතාවයක් ඇති වෙලා තියෙනවා”

“මේ සම්බන්ධයෙන් කරුණු දන්නවද? මේ කරුණු ඇත්තද? මේක නිවැරදි කරන්න. මේ වැරැද්ද වෙන්න ඉඩ තියන්න එපා කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා” යයි නලීන් බණ්ඩාර මහතා පැවසීය.
ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මෙසේ පිළිතුරු සැපයීය.

“නලීන් බණ්ඩාර ජයමහ මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මම පැහැදිළිව ප්‍රකාශ කරනවා”

“කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නෑ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා මගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලත් නෑ. එවන් පත්වීමක් සඳහා කැබිනට් අනුමැතියක් නෑ. කැබිනට් අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කරලත් නෑ. එහෙම එකක් නෑ” යයි ද අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.