(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා සහ පකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම් අතර ලාහෝර්හිදී පැවැත්වෙන 20/20 ක‍්‍රිකට් තරගය සඳහා තමන් ද සහභාගී වන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(25) පැවසීය.
මෙම තරගයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලූවක් නොමැති බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනයද වාර්තාවක් ලබා දී ඇතැයි කී අමාත්‍යවරයා තමන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙරට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද මේ ගැන සොයාබැලීමට පත්කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.
එම වාර්තාව ද දින දෙකක් පමණ ඇතුළත ලැබීමට නියමිත බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ පකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම මෙරට තරගවලට පැමිණි බව හා යුද්ධය වෙනුවෙන් පකිස්තාන රජය ශ්‍රී ලංකාවට දුන් සහාය අමකත කළ නොහැකි බව ද ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(25) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රාජ්‍ය නායකයකුට දෙන ප‍්‍රභූ ආරක්‍ෂාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ලබා දෙන බව පකිස්තාන රජය පොරොන්දු වී ඇති බව ද කී අමාත්‍යවරයා මීට පෙර යම් අත්දැකීම්වලට මුහුණ දුන් ක‍්‍රීඩකයින් මෙයට සහභාගීවීමට බියකින් පසුවෙනවා නම් ඒ අය ගැන ගැටලූවක් නැතැයි ද කීවේය.
පකිස්තානය සමග පැවැත්වෙන 20/20 තරග තුනටම එකම කණ්ඩායමක් තරග කිරීම සුදුසු බව කී දයාසිරි ජයසේකර මහතා ඒ වෙනුවෙන් ඉතා හොඳ කණ්ඩායමක් තෝරා තිබෙන බවත් එයට සහභාගීවීම පුහුණුකරුවන් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඒ ගැන ක‍්‍රිකට් ආයතනය තීන්දුවක් ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.
පකිස්තානය සමග තරගාවලියට සහභාගී වූ මෙරට ක‍්‍රිකට් බලධාරියෙක් එරට ක‍්‍රිකට් ක්ෂේත්‍රය හා සම්බන්ධ නිලධාරිනියකට අයුතු යෝජනාවක් කර ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බවයි.

