ක්ෂේත්‍ර 19ක විධායක නිලධාරීහු 11 වැඩ වරති


විනීතා එම් ගමගේ
 
ක්ෂේත‍්‍ර 19 කට අයත් රජයේ විධායක නිලධාරීන් මේ මස 11 වැනිදා එක් දින සංකේත වර්ජනයකට හා විරෝධතාවකයකට එළැඹෙන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ  කමිටුව කියයි. 
 
රටේ ජාතික වැටුප ප‍්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් නීති ක්ෂේත්‍රයට වැටුප් තල වැඩි කිරීම ඇතුළු රජයේ තීන්දු කිහිපයකට විරෝධය පළ කරමින් මෙම සංකේත වර්ජනය සිදුකරන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච් ඒ එල් උදයසිරි මහතා ලංකාදීපයට අද (08) පැවැසීය. 
 
රාජ්‍ය සේවයේ විධායක සේවාවන් අතර සුපිරි හා විශේෂිත සේවා ඇති කිරීමට ගෙන යන අත්තනෝමතික වැඩ පිළිවෙලට විරෝධය පළ කිරීම හා විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි වීම ද මෙම සංකේත වර්ජනයට හේතු වන බව හෙතෙම සඳහන් කළේය.  තම ඉල්ලීම්වලට රජයෙන් නිසි ප‍්‍රතිචාරයක් නොලදහොත් සාමාජික වෘත්තිය සමිති එක්ව දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට යාමට බලාපොරොත්තු වන බව ද උදයසිරි මහතා කීය. 
 
ඉංජිනේරු, ක‍්‍රම සම්පාදන, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, දේශිය ආදායම්, කෘෂීකර්ම, රජයේ විද්‍යාත්මක සේවා, වාස්තු විද්‍යාඥ, ගුරු අධ්‍යාපන සේවා, අධ්‍යාපන නිලධාරින් ඇතුළු විධායක ශ්‍රේණිවල සේවාවන් 19 ක් මෙම සංකේත වර්ජනයට එක් වන බව ද ලේකම්වරයා කියා සිටියේය.