ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින් තුරන් කළයුතු බව ඩඩ්ලි කියයි


(රන්ජන් කස්තුරි)
 
දුප්පත් ගම්වැසියන් සදාකාලික ණයකරුවන් බවට පත්කරමින් සිදුකර ගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින්ම රටින් තුරන් කළ යුතු යැයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා කොළඹදී අද(06) පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී පැවසීය.
 
පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මුළු රටපුරාම මෙම ව්‍යසනකාරී ණයක්‍රමය අරක්ගෙන ඇති අතර එම නිසා දුප්පත් ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවද ඇතැම් පිරිස්වලට යන එන මං නැති බවද එහිදී ඩඩ්ලි සිරිසේන මහතා කීය.
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂ්‍රද්‍ර මූල්‍ය (මයික්‍රො ක්‍රෙඩිට්) ණයකරුවන්ට ලබන මාර්තු 31 වැනි දිනා දක්වා කල් ලබාදෙන බවද එදිනෙන් පසුව ණයදෙන්නා පහරදී පළවා හරින බවද ඔහු පැවසීය.
 
මෙම ණය ක්‍රමය තහනම් කරන්නැයි තමා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කීය.
 
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද පැවසීය.
 
“ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අද ගම් විනාශ වෙලා. මොවුන් 75%ක් 80%ක් වගේ අධික පොලියක් ගන්නවා. දිනපතා මුදල් රැස්කරන්න ගෙදරට එනවා. ඇතැම් කාන්තාවන් මේ නිසා බලවත් ව්‍යසනයකට පත්වෙලා. ඇතැම් කාන්තාවන්ට ණය ගෙවාගන්න බැරි නිසා  වංචාකරුවන් ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා. මට මේවා ඔප්පු කරන්න පුළුවන්. මම පොළොන්නරුවෙන් මේ ණය දෙන පුද්ගලයන් පන්නනවා. මම බය නැහැ. මීටපස්සේ ණයගන්න එපා කියලයි ණයගන්න අයට කියන්නේ. ගමේ ප්‍රභූන් පූජ්‍ය පූජක පක්ෂය එකතුවී ගම ආරක්ෂා කරන්න ඕන. ණයදෙන්න එන අයට ඉඩක් නොදී පන්නගන්න ඕනේ. මම ඒකට පෙරමුණ ගන්නවා.”

 ( ඡායාරූපය - ඉෂාන් සංජීව )