(විනීතා එම් ගමගේ)
රාජ්‍ය ආයතන මගින් සිදුකරන ක්ෂණික මිලදී ගැනීම් ක‍්‍රමය නතර කරන ලෙස පසුගියදා ඇතිවූ තෙල් අර්බුදය පිළිබඳ සොයා බැලීමේ අමාත්‍ය අනු කමිටුව රජයට යෝජනා කර ඇත.
බොහෝ රාජ්‍ය ආයතන මේ ක‍්‍රියාවලිය අනුගමනය කරන බවත් මේවා දුෂණවලට මුල්වන බවත් එම කමිටුව සකස්කර ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාවේ සඳහන් වේ.
නිරන්තර ඉන්ධන තොගයක් තබා ගැනීම ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වුවත් ඒ පිළිබඳ සැලකිලිමත් වී නැතැයි පෙනී යන බව අමාත්‍ය අනුකමිටුවේ සභාපති විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
රාජ්‍ය ආයතනවල ක්ෂණික මිලදී ගැනීම් කරන්නට සිදුවන අවස්ථා ඇතිවිය හැකි බවත් එවැනි අවස්ථා හිතා මතා ඇති කරන්නට හැකි බවත් පෙන්වා දුන් අමුණුගම මහතා තව දුරටත් මෙසේ ද කීය.
‘‘මේ සිද්ධිය පිළිබඳව සංස්ථා පරිපාලනයට සමාව දෙන්න බැහැ. හොඳ පරිපාලනයක් තිබුණා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. එම අර්බුදයට හේතුව සංස්ථාව විසින් ඉන්දියන් තෙල් සමාගම හරහා මේ රටට ගේන්න ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 20000 ක ඇණවුම ප‍්‍රතික්ෂේප කිරීම, කෙලින්ම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇණවුම් කළ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 36000 ප‍්‍රමාණය සහිත නැව දින හතරක් පහක් ප‍්‍රමාද වීම, හා දිනකට මෙට්‍රික් ටොන් පන්සීයක් පමණ පිරිපහදු කරන පිරිපහදුව ක‍්‍රියා විරහිත වීම යන කාරණා බලපා තියෙනවා.
මේ සිද්ධිය රටට අවදානම් තත්ත්වයට පත් කලා. එන්න තිබුණේ තෙල් මෙට්‍රික් ටොන් 20000 යි. තව 70000 ක් ගබඩා කළ හැකිව තිබුණා. ඇයි එවැනි ආරක්ෂිත සංචිතයක් තබා නොගත්තේ කියන ප‍්‍රශ්නය ගැන අපි අවධානය යොමුකළා.
විද්‍යානුකූල තොග පාලන ක‍්‍රමයක් අනුගමනය කිරීමත් තෙල් තොග ගබඩා කිරීම සහ බෙදාහැරීම ගැන භෞතික ව්‍යුහයේ අවශ්‍ය කොටස් පොම්ප ප‍්‍රමාණය හා ධාරිතාව නැංවීමට කටයුතු කරන ලෙසත් අපේ කමිටුව යෝජනා කර තිබෙනවා.

