ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරග 14 දා සිට පල්ලෙකැලේදී


දේශීය ප‍්‍රධානතම බොක්සිං තරගාවලියක් වන ‘ක්ලිෆර්ඞ් කුසලාන’ බොක්සිං තරගමාලාව කොළඹින් පිට පළාතකදී පැවැත්වීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම තරගාවලිය දෙසැම්බර් මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ මාස් හෝල්ඩින් සමුහයට අයත් ලීනියා ආයතනයේදී පැවැත්වේ. 2004 වසරේදී දියතලාවේදී පැවැත්වීමෙන් පසුව කොළඹින් පිටත දී මෙම තරගාවලිය පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ. වයස 17 ත් 34 ත් අතර පසුවන කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලිය බර පංති 10 ක් යටතේ (පිරිමි* පැවැත්වේ. කිලෝග‍්‍රෑම් 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 සහ කිලෝග‍්‍රෑම් 91 ට වැඩි බර පංතිවලින් පිරිමි තරගාවලිය සමන්විතය. කිලෝග‍්‍රෑම් 48, 51, 54, 57, 60, 64, 69, 75, 81 සහ කිලෝග‍්‍රෑම් 81 ට වැඩි යන බර පංති 10 කින් කාන්තා තරගාවලිය පැවැත්වේ. ආධුනික, අතරමැදි තරගාවලිවලදී ශූරතාව සහ අනුශූරතාව දිනාගත් සහ ජාතික කනිෂ්ඨ ඇතුළු ජාතික මට්ටමේ තරගවලදී දස්කම් දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අවම හතරකින් යුත් කණ්ඩායමක් බැගින් තරගාවලියට ඉදිරිපත්විය යුතු බව සංවිධායක කමිටුව පවසයි. පසුගිය වසරේ පැවැත්වීමට තිබු තරගාවලිය මෙම වසරේ ජනවාරී මස පැවැති අතර එහිදී වසර 37 කට පසුව නාවික හමුදාව විසින් ක්ලිෆර්ඞ් කුසලාන දිනා ගන්නා ලදී. ස්ලිම් ලයින් ක‍්‍රීඩා සමාජයේ එස්. එන්. හීල්බත්දෙණිය දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. මෙවර තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙතින් අයැදුම්පත් බාර ගැනීම දෙසැම්බර් මස 5 වැනිදා අවසන්වේ. අයැදුම්පත් ලේකම්, ආධුනික බොක්සිං සංගමය, මාස් ඉන්ටිමේට් පුද්ගලික සමාගම, 7 වැනි පටුමග, කඳවල, රත්මලාන යන ලිපිනයට යොමු කළ යුතුය.