(බන්දු තඹවිට)
කළුතර දිස්ත්‍රික්කයට සෙනසුරාදා (19) සිට පැවති අධික වර්ෂාවත් සමඟ බදුරලිය ,බුලත්සිංහල, වලල්ලාවිට ඉංගිරිය සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට නාය යාමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශ වල ජනතාවට ආරක්‍ෂිත ස්ථාන වලට යන ලෙස නිවේදනය කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ භූ විද්‍යාඥ හර්ෂ ඒකනායක මහතා පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකටම මිලි මීටර් 150 ට වැඩි සහ එයට ආසන්න ප්‍රමාණයක වැසි ලැබෙමින් පවතින බවත් ඒ අනුව ඉදිරි පැය 24 තුළ නාය යාම් සිදු විය හැකි බැවින් අවදානම් කලාප වල ජනතාවට ආරක්‍ෂිත පියවර ගැනීමට මෙම නිවේදනය නිකුත් කළ බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර වෙරළබඩ ප්‍රදේශයේ කළුතර,බේරුවල සහ පානදුර ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බවත් එම නිසා පස් කණ්ඩ් ආශ්‍රිතව ජීවත්වන ජනතාවත් අවදානයෙන් සිටින ලෙසත් හර්ෂ ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර කුකුලේගඟ ජාල විදුලි බලාගාරය ප්‍රදේශයට අද (20) උදැසන වනවිට මිලිමීටර් 155 ක වර්ෂාපතනයක් පැවති බවත් එම නිසා දහවල් 1.45 ට පමණ කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු විවෘත කළ බවත් ඒ අනුව තත්පරයට ජලය ඝණ මීටර් 100 ක ප්‍රමාණයක් පිටවන නිසා පහල ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස කුකුලේ ගඟ ජාල විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ශාන්ත පෙරේරා මහතා නිවේදනය කළේය.