(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සහ ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරෙන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා පැවසීය.
කළු ගඟ ජලාශය මොරගහකන්ද ජලාශය මෙන්ම ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා 06 දින දවස පුරා ම මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු එහි පැමිණියහ.
රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මහවැලි නිලධාරීන් මුලින්ම මොරගහකන්ද ජලාශයෙන් උතුරු මැද පළාත හා උතුරු පළාතට ජලය රැගෙන යෑම සඳහා කඩිනමින් ඉදිවෙමින් පවතින ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළහ. එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස කඩිනමින් මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙස ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට උපදෙස් ලබාදීම මෙන්ම දැනට පවතින ගැටලු සහගත ස්ථාන පිළිබඳව සාකච්ඡා කිරීම සිදුවිය.
පසුව රාඡ්‍ය අමාත්‍යය වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිස කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් නිරීක්ෂණයට එක් වූ අතර එහිදී ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කළු ගඟ හරස් කොට කළු ගඟ ජලාශය වතුර පිරවීම සිදුකරන සොරොව් ස්ථානය සහ ඉදිකිරීම් භූමිය නිරීක්ෂණය කළහ.
පසුව මොරගහකන්ද ජලාශ දැනට ක්‍රියාත්මක වන විදුලිබල උත්පාදන බලාගාරය නිරීක්ෂණය කොට ජලාශය නිරීක්ෂණය කිරීම මෙන්ම මොරගහකන්ද ජලාශය ඉදිරිපිට කළු ගලෙන් ඉදිකරමින් පවතින නව බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට ලක් විණි.
මෙහිදී මාධ්‍ය ඇමතූ වීරකුමාර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මොරගහකන්ද ජලාශයේ සහ කළු ගඟ ජලාශයේ සඳහා ඉඩම් අහිමි වූවන් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී එම ජනතාව නැවත පදිංචි කිරීම් මෙන්ම නව නගර ඉදි කිරීම් ආදී කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවය. එමෙන්ම දැනට පවතින යම් යම් ගැටළු සහගත ස්ථාන කඩිනමින් විසඳීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කළු ගඟ ජලාශ ඉදි කිරීම් ප්‍රධාන නේවාසික ඉංජිනේරු ලාල් කුමාරසිරි මහතා කියා සිටියේ කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් පසුගිය 2014 වසරේ ආරම්භ වූ බවත් එමෙන්ම මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට මෙහි වේලිවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිත බවය. එමෙන්ම ලබන 23 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කළුගඟ ජලාශය සඳහා කළු ගඟ හරස් කොට වතුර පිරි වීම් කටයුතු සිදුකරන බවත් එය කඩින් කඩ සාමාන්‍ය මට්ටමේ පුරවා අත්හදා බැලීම් සිදුකරන බවද පැවසිය.